(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයට අයත් අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ ඉගෙනුම ලබන මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසු සිසුවියන්ට විද්‍යාලයේ රාත්‍රී කාලයේ නේවාසිකව නොමිලේ ඉගැන්වීම් කටයුතු කරන අපූරු සිද්ධියක් වාර්තා වේ.
මාතලේ වීර කැප්පෙටිපොළ විද්‍යාලයට රාත්‍රීයේ ගිය අවස්ථාවේ දී සිසු සිසුවියන් 160කට වැඩි ප්‍රමාණයක් මෙහි ඉගෙනීම් කටයුතුවල නිරතව සිටින අයුරු දැකගත හැකිවිය.
වසර පහක පමණ කාලයක සිට විද්‍යාලයේ නේවාසිකව දරු දැරියන්ට නොමිලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම විශේෂත්වයකි. උදෑසන පාසල් වෙලාවේ පාසල් අධ්‍යාපනයත් පසුව පස්වරුවේ දරුවන් බාහිරව පන්ති වලින් ලබාගන්නා දැනුම විද්‍යාලයේ ගුරුවරුන් විසින් උපකාරක පන්ති ලෙස පැවැත්වීම මෙන්ම රාත්‍රී පැය ගණනාවක් ප්‍රශ්න පත්තර පිළිබඳව ගැටලු සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක් මෙම විද්‍යාලයේ ක්‍රියාත්මක වෙයි.
විද්‍යාලයේ ඇති පහසුකම් යොදාගෙන මව්පියන්ගේ ආහාර පමණක් ලබාගෙන දරුවන් නේවාසිකව මෙයාකාරයෙන් ඉගැන්වීම් කටයුතු කරන බව විදුහල්පති ඩී.ජේ.එස්.ජයසිංහ මහතා අප සමඟ පැවසීය.
එමෙන්ම මෙහි විශේෂත්වයක් වන්නේ විදුහල්පතිවරයා විසින් මෙම දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමය. විදුහල්පතිවරයා පැය 24 පුරාම දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරමින් විද්‍යාලයේ රැඳී සිටිමින් පරිපාලන කටයුතුවලට අමතරව දරුවන්ට දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ගණිතය විෂය ඉගැන්වීමේ කටයුතු නොමිලේ සිදු කිරීම විශේෂත්වයකි.
දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසලක් ලෙස නම් දරා ඇති අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසල මේ වනවිට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකොට මේ වන විටත් විද්‍යාලයේ තරග ඉසව් කිහිපයක ජාතික තලයේ වාර්තා පිහිටවූ සිසුන් ඉගෙන ගැනීම විශේෂත්වයකි.
නේවාසිකව සිටින සියලු සිසු සිසුවියන් දැඩි විනයක් ඇතිව කාලසටහනක් අනුව පැය 15 කට වඩා වැඩි කාලයක් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සියලු අධ්‍යාපන ගැටලු පිළිබඳව විද්‍යාලයේ ගුරුවරුන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඉගැන්වීම් කටයුතුවල නිරතව සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉහළ සාමාර්ථයක් සිසු සිසුවියන්ට අත්කර දීම තම එකම අරමුණ බව විදුහල්පතිවරයා සඳහන් කළේය.
ඉතා සංවේදී වූ විදුහල්පතිවරයා කියා සිටින්නේ ගුරුවරයකු වූ තමන් සමාජයට යහපත් පුරවැසියකු බිහි කිරීමේ උදාර කාර්යයට උර දී සිටින බවය.