සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් නවීනත්වයට යා යුතුමයි


ශ්‍රී ලංකාව ඇසුරින් කළ ලෝක ආහාර සමීක්ෂණයකින් හෙළි වූ අලුත් ම තොරතුරු ඉකුත්දා ලංකාදීප පුවත්පතේ පළ වූයේය. එම සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට ජනගහනයෙන් සියයට 35 ක් දිනකට ගන්නා ආහාර වේල් ගණන අඩු කර ඇත. වතුකර හා ගම්බද ජනතාවගෙන් සෑම දහයෙන්  නව දෙනෙක්ම  ආහාර මිලට ගැනීමේ දුෂ්කරතා වලට මුහුණ දෙති. ජනතාවගෙන් සියයට හැට අටක් දෙනා තම රුචි අරුචිකම් පසෙක තබා මේ දිනවල මොනවා හෝ තිබෙන දෙයකින් කුස පුරවාගෙන කාලය ගෙවති.

රටේ ජනයා ආහාර අහේනියකින් පීඩා විඳින බව තව දුරටත් සඟවා කතා කළ යුතු නොවේ. මෙම අහේනියට සෘජුව හේතු වූ කාරණා කිහිපයකි. රසායනික පොහොර තහනමෙන් පහත වැටුණු දේශීය ආහාර නිෂ්පාදනය තවමත් යථා තත්ත්වයට පත්ව නැති වීම පළමු හේතුවයි. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ, මුදලේ අගය අවප්‍රමාණ වීම නිසා විශේෂයෙන්  පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය ඇතුළු ආහාර මිල පසුගිය වසර දෙක පුරාම ශීඝ්‍රයෙන් ඉහළ යාම දෙවැනි හේතුවයි. රටේ පවතින උද්ධමනය නිසා පසුගිය වසර තුළ පොදුවේ ආහාර මිල සියයට අසූවකින් පමණ ඉහළ ගිය බව වාර්තා වී තිබිණි. රටේ ජනතාවගේ ආදායම ස්ථාවරව තිබියදී මුදලට ගත හැකි ආහාර ප්‍රමාණය අඩුවී ගියේය. වෙනත් වචන වලින් කිවහොත් ජනතාවගේ ක්‍රය ශක්තිය හීනවී ගියේය.

මෙය සෘජුවම රටේ ආර්ථික ඵලදායිතාවට බලපාන ගැටලුවකි. 2021 වාර්තා අනුව 8267764 ක් වන ශ්‍රම බලකායෙන් සියයට 28ක් පමණ ගම්බද ගොවීහුය. වතුකර ශ්‍රම බලකායද මිලියනයක් පමණ වේ. කුසගින්නේ වැඩ කරන ශ්‍රමිකයාගෙන් ඵලදායි ආර්ථික නිෂ්පාදනයක් බලාපොරොත්තු විය හැකිද?

පළමුකොටම දැඩි දරිද්‍ර බව නිසා කුසගින්නේ සිටින ජනතාව තෝරා ඒ අයට සහනාධාර පිරිනැමීම අප්‍රමාදව කළ යුත්තකි. ආහාර සහනාධාර ලබා ගත හැකි සෑම ජාත්‍යන්තර ආයතනයකම සහයෝගය, දැන් ලජ්ජාව පසෙක තබා ලබා ගත යුතු වේ. රට තුළ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට පවතින බාධා සියල්ල හැකි ඉක්මනින් ඉවත් කිරීම නොපමාව කළ යුත්තකි. රටේ ආර්ථික අර්බුදයට පිළියම් යොදන  අතර කඩිනමින් ඉහත ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත්ය.

කුසගින්නෙන් පෙළෙන ජනතාව පළමුව කුසගින්නෙනුත් දෙවනුව ඒ නිසා හට ගන්නා අතුරු ආබාධවලිනුත් බේරා ගත යුතුය. රටේ ඖෂධ හිඟයක් පවතින බව ද රහසක් නොවේ. මේ කාරණා දෙකම නිසා කුසගින්නෙන් පෙළෙන ජනතාවගේ සුබ සිද්ධිය තකා කඩිනමින් අරමුදලක් පිහිටුවීම ද කළ හැක්කකි.

ඉහත සඳහන් පිළියම් කෙටි කාලයේ දී යෙදිය යුතු ඒවාය.  අනාගතයේදී රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය  ආරක්ෂා කිරීම පිණිස නිසි ආර්ථික හා කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට එළඹීම  රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන අතරේම කළ යුත්තකි.

මේ වන විට මිලියන දෙකක පමණ ගම්බද ජනතාව ග්‍රාමීය කෘෂිකර්මය ආශ්‍රයෙන් යැපෙති. සාමාන්‍යයෙන් එවිට එක් අයකුට අයත් වන කෘෂි ඉඩම් ප්‍රමාණය අක්කර භාගයටත් අඩු වූවකි. රටේ ආහාර නිෂ්පාදනයට සියයට 80කින් දායක වන මිලියන 1.65 ක් වූ ජනතාවගෙන් වැඩි දෙනාට අයත්  භූමි ප්‍රමාණය හෙක්ටයාර දෙකටත් අඩුය. එය කෘෂිකාර්මික ඵලදායිතාව අතින් අතිශය දුෂ්කර තත්ත්වයකි. කුඩා ඉඩම් වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගී කරගත හැකි අවස්ථා ඉතා විරලය.

දිගින් දිගටම කෘෂි ප්‍රජාව වැඩි වෙද්දී ඉඩම් කුඩා වීම සිදුවුව හොත් මෙම තත්ත්වය තවත් දරුණු වේ. එමනිසා එක්කෝ කෘෂිකර්මාන්තය මත යැපෙන ගම්බද ජනගහනය අනාගතයේදී අඩු කරගත යුතුය. නැතහොත්  අක්කරයකින් ලැබෙන අස්වැන්න දස ගුණයකින් පමණ වැඩි කර ගත යුතුය.

සුද්දා ගම්බද පාරිභෝගික කෘෂිකර්මාන්තය වෙනුවට වැවිලි කර්මාන්තයට ප්‍රමුඛතාව දුන්නේ ඒ ඔස්සේ ජාත්‍යන්තර මට්ටමට ගොස් අපනයන ආදායම් ඉපැයිය හැකි බැවිනි. ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක කීපයේ දී ගම්බද වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයට සහනාධාර දිය හැකි වූයේ වැවිළි කෘෂි බෝගවලින් නිර්යාත ආදායම් ලැබුණු නිසාය.

ගම්බද කෘෂිකර්මාන්තය සහනාධාර දෙමින් නඩත්තු කරන්නක් ලෙස අනාගතයේදී ද පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන්නකි. එසේ කළහොත් කුසගින්න අනාගතයටද උරුම වනු නිසැකය. එම නිසා අපගේ ගම්බද කෘෂි  කර්මාන්තය ඵලදායි මට්ටමට අනාගතයේ ගෙන ආ යුතුය.

දැන් ලෝකයා සිවුවැනි හරිත විප්ලවයටත් අනුගත වෙමින් සිටිති. අප තවමත් ළතැවෙන්නේ පළමු හරිත විප්ලව අවධියේය. කෘෂි තාක්ෂණය උපයෝගී කරගන්නා හරිත විප්ලවයේ දෙවැනි තුන්වැනි අදියරවලට අප පිවිසෙන්නේ නැත්නම් අපට අනාගතයට උරුම වන්නේ ද කුසගින්න ම ය. ඒ සඳහා අපගේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය කාලයත් සමඟ නවීකරණයට භාජන කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි.

(***)