සිංගප්පූරුවේ සාර්ථකත්වය හා පැවැත්ම රඳාපවතින්නේ නිවැරැදි නායකත්වය මත බැවින්, නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දෝෂයකට ඉඩ තැබීමේ අවකාශයක් සිංගප්පූරුවට නැතැයි සිංගප්පූරු අගමැති ලී සෙයින් ලුන්ග් ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ අගෝස්තු 21 වැනිදා පැවැති එරට ජාතික දින රැස්වීම අමතමිනි.
සිංගප්පූරුව නිදහස ලබන්නේ 1965 අගෝස්තු 9 වැනිදාය. එය සිංගප්පූරුව ඉල්ලා සිටි නිදහසකට වඩා ෆෙඩරල් රාජ්‍ය සමූහයෙන් පන්නා දැමීමකි. එවකට මැලේසියානු අගමැති තුන්ක් අබ්දුල් රහමන් විසින් සිංගප්පූරුව මලයානු සමූහ රාජ්‍යයෙන් පන්නා දැමීම නිසා සිංගප්පූරුවට නිදහස ලැබිණි. එසේ 1965 නිල වශයෙන් සිංගප්පූරුවට නිදහස ලැබීමට දේශපාලන, ආර්ථික හා වර්ගවාදී වෙනස්කම් රාශියක් බලපෑවේය.
ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 280ක් වූ සිංගප්පූරු දූපතට තනිව පැවැත්මක් තිබේදෝයි එවකට බොහෝ දේශපාලන විචාරකයෝ සැක පළ කළහ. අවුරුදු 144ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සිංගප්පූරුව, II වැනි ලෝක සංග්‍රාමයේදී ජපනුන් අතට පත්විය.
1945 දී එම දූපත ජපනුන් විසින් නැවත බ්‍රිතාන්‍යයට භාර දෙනු ලැබීය. 1959 ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලැබූ සිංගප්පූරුව 1963 මැලේසියාව පිහිටුවීමේ ප්‍රාරම්භක සාමාජිකයකු විය. 1965 සිංගප්පූරුවට තනි වෙන්නට බලකොට මැලේසියාවෙන් සිංගප්පූරුව නෙරපා හරිනු ලැබුවේය.
ඉන් අනතුරුව අගමැති ලීක්වාන් යූ ගේ නායකත්වය ඔස්සේ සිංගප්පූරුව සාර්ථකත්වය කරා මෙහෙයවන ලදී. ලී සෙයින් ලුන්ග් එරට තුන්වැනි අග්‍රාමාත්‍යවරයාය. ලීක්වාන් යූ ගෙන් පසුව නායකත්වයට පැමිණි ගොන් චොක් ටොන්ග් 1990 සිට 2004 කාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරුවේය.
ලී මහතා ප්‍රකාශ කළ පරිදි සිංගප්පූරුව වසර පනස් හතක කාලය පුරාම නායකත්වය විශේෂ කොට සැලකූ රටකි. සිංගප්පූරුවේ සාර්ථකත්වයට බලපෑ නායකත්වය මේ වනවිට ලෝකයේ සමහර දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල පර් යේෂණ පත්‍රිකාවල ජනප්‍රිය මාතෘකාවක් බවටද පත්ව තිබේ.
රටේ මතු නායකත්වය පිළිබඳ ලීක්වාන් යූ කෙතරම් උනන්දු වූයේද යන්නද ඒවායේ සඳහන්වේ. ලීක්වාන් යූ නායකත්වය උදෙසා දක්ෂයන් සොයමින් පසු වූයේ 1960 පටන්ය. එවකට ඔහුගේ වයස අවුරුදු හතළිහකි. එම වසරේ පටන් ඔහු සීමිත පුද්ගලයන් සංඛ්‍යාවකගෙන් දක්ෂයන් සෙවීම ආරම්භ කළේය.
1980 දී තරුණ නායකයන් හඳුනාගත් ඔහු ඔවුන් (Peoples Action Party) PAP පක්ෂය වෙත බඳවා ගත්තේය. ඔවුන් දෙවැනි පරම්පරාවේ න්‍යෂ්ඨිය ලෙස ප්‍රසිද්ධියේ හැඳින්වූ ලීක්වාන් යූ ඔවුන්ට දුෂ්කර කාර්ය පැවැරුවේය. 1985 දී ගොන් චොක් ටොන්ග් පළමු නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ඔහු නම් කරන්නේ ඒ අනුවය. ගොන් චොක් ටොන්ග් 1990 අග්‍රාමාත්‍ය ධුරය ලබන්නේ ඒ හේතුවෙනි.
සිංගප්පූරු ආර්ථිකය අද ලෝකයේ ස්ථාවර ආර්ථික ස්වල්පයෙන් එකකි. සිංගප්පූරුව විදේශයන්ට කිසිදු ණයක් ගෙවීමට නැත. රාජ්‍ය ආදායම අතිශය ඉහළය. ධනාත්මක අතිරික්තයක් රාජ්‍ය ආදායම් තුළ නිරන්තරයෙන් පවත්වාගෙන තිබේ. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 20-25ක් ලබන්නේ නිෂ්පාදන අංශයෙනි. නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර, සිංගප්පූරුවේ අපනයනවල වැඩි දායකත්වයක් දරයි.
මූල්‍ය සේවා, සංචාරක ව්‍යාපාරයෙන් එරටට විශාල ලෙස විදේශ විනිමය ලැබේ. ලෝකයේ හොඳම නැව් භාණ්ඩ හුවමාරු වරාය පවත්වාගෙන යන්නේ සිංගප්පූරුවේය. 2020 වසරේ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 86480කි.(සිංගප්පූරුව පළවා හළ මැලේසියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 27370කි)
සිංගප්පූරුවේ සාර්ථකත්වයට හේතුවූ කාරණා ලීක්වාන් යූ ද ප්‍රකාශයට පත් කර තිබේ. 2018 දී ජෝන් S.T. Qush පළකළ පර් යේෂණ පත්‍රිකාවට අනුව සිංගප්පූරුවේ සාර්ථකත්වයට බලපෑ මූලික හේතු 5කි
• ලීක්වාන් යූ සහ ඔහුගෙන් පසුව පැමිණි නායකයන්ගේ ප්‍රායෝගික ප්‍රතිවිපාක මුල්කොට ගත් නායකත්ව ගුණාංග
• ප්‍රබල රාජ්‍ය නිල බල ක්‍රමය
• දූෂණය පාලනය කර ගැනීම
• හොඳම දක්ෂයාට තැන දීම පිළිබඳ විශ්වාසය. (මේ සඳහා අධ්‍යාපනය උදෙසා ආයෝජනය සහ තරගකාරිත්වයට මුල්තැන දීමෙන් පුරවැසියන් තෝරා ගැනීම)
• අනෙක් රටවලින් නිවැරැදි දේ ඉගෙන ගැනීම
මෙහි සියලු කරුණු රටක් ලෙස අපට වැදගත් වන අතර පස්වැනි කාරණයත් පළමු කාරණයත් කෙරේ වැඩි අවධානයක් යොමු කිරීම උදෙසා පසුගිය අගෝ 21 වැනිදා එරට අගමැති ලී සෙයින් ලුන්ග් කළ කතාව පිළිබඳව සිතා බැලීම අප විසින් කළ යුත්තකි.
අස්ථාවර ආණ්ඩු හා දේශපාලන මතභේදවල පැටලී සිටින රටවල් පෙන්වමින් ලී මහතා කියා සිටියේ නායකත්වය සම්බන්ධයෙන් කිසිම ආකාරයෙන් එම මතය වෙනස් කිරීමකට එකඟ නොවන බවයි.
‘‘කටයුතු නිසියාකාරව සිදු නොවන විට නායකයන් මහජනතාව විසින් බලයෙන් පහ කෙරෙනවා නැතහොත් ඔවුන්ට ඉල්ලා අස්වීමට බල කෙරෙනවා.’ යනුවෙන් ඔහු කියා සිටියේ එවැනි අවස්ථාවල ප්‍රතිපත්ති හා නීති, දේශපාලන මතභේදවලින් හෝ ඊළඟ ආණ්ඩු ඒවා වෙනස් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල උදාකරගත නොහැකි බවයි.
නිතරම ඒ නිසා බලාපොරොත්තු සුන්වී යන්නේ දේශපාලකයන්ගේ පමණක් නොවේ. සමස්ත ක්‍රමයම ඒ නිසා අසාර්ථක වෙනවා. එහි ප්‍රතිඵලයක් වන්නේ විනාශකාරී ලෙස විශ්වාසය ගිලිහී යාමයි. එසේ වන්නේ තනි තනි දේශපාලකයන් තුළ සහ පක්ෂවල නොවෙයි. සමස්ත දේශපාලන ක්‍රමය තුළ සහ දේශපාලන පන්තිය තුළය. එතැනින් පසු කිසිම ඉදිරියට යාමක් සිදු වන්නේ නෑ.
‘සිංගප්පූරුව වැනි කුඩා රටකට දෝෂ සඳහා ඉඩ තැබීමේ අවකාශයක් නෑ. සිංගප්පූරුවේ සාර්ථකත්වයේ පැවැත්ම පමණක් නොව අපගේ පැවැත්මත් රඳා පවතින්නේ නිවැරැදි නායකත්වයක් හිමිවීම තුළයි’ යයි ඔහු කීවේය.
රටේ නායකයන්ගේ එකමුතුභාවය, කැපවීම, දක්ෂතාව සහ දැඩි විශ්වාසය, විකල්ප ඇති විට නිවැරැදි තීරණ ගැනීම, නිවැරැදි දේ කිරීමේ ගුණාංගය ඔවුන් තුළ තිබිය යුතුයි. ඒ අනුව එහිදී තමන්ගේ ඡන්දය අහිමිව ගියත් ඔවුන් එසේ නිවැරැදි දේ කළ යුතුයි.
පනස් හත් වසරක් පුරා සිටි පරම්පරා තුනකට ස්තුතිවන්නට සිංගප්පූරුවේ විශ්වාසයත්, ආත්ම විශ්වාසයත් ගොඩනගාගෙන එය පවත්වාගෙන ආ නායකයන් අපට ලැබී තිබෙනවා. ඔවුන් ප්‍රබල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනතාවට සමීපව වැඩ කළා. අපගේ ජීවිත ඔවුන් ප්‍රගතිය කරා ගෙන ගියා.’ යයි අගමැතිවරයා කීවේය.
‘මෙම විශ්වාසය හෝ දක්ෂතාව ඉබේ පිරිනැමුණු එකක් ලෙස කිසිවිට සලකන්නට එපා’
නිවැරැදි නායකයන් හිමිවීම තහවුරු කර ගැනීම හැරුණු කොට එකමුතු වන ලෙසත්, තමන් අතරත්, දේශපාලකයන් වෙතත් විශ්වාසය රඳවා ගන්නා ලෙස ලී මහතා තවදුරටත් කියා සිටියේය.
‘රටේ නිර්මාණාත්මක හැකියාව සහ පහසුවෙන් ප්‍රකෘති භාවයට පත්වීමේ හැකියාවත්, වසරින් වසර රට තුළ හා බාහිර අභියෝග හමුවේ පවත්වා ගැනීම එහිදී වැදගත් වූවා.’
‘අපට හොඳම යෝජනා ක්‍රම ඇතුවා වෙන්නට පුළුවන්. එම මූලික කාරණා තුන නොමැති විට ඒ සියල්ලම පුස්සක් බවට පත්වෙනවා’ නායකත්වය නැවත සාර්ථකත්වයට පැමිණි බව කී ලී මහතා, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් 4G කණ්ඩායමේ නායකත්වයට පත්කොට ඇති බව දැනුම් දුන්නේය.
4G කණ්ඩායම යනු සිව්වැනි පරම්පරාවේ කණ්ඩායමයි. ඊළඟට අගමැතිවරයා බවට පත්ව සිංගප්පූරුවට නායකත්වය දෙනු ලබන්නේ හතරවැනි පරම්පරාවේ කණ්ඩායම් නායකයාය. ඒ ලෝරන්ස් වොන්ග් ය.
සිංගප්පූරු අගමැතිවරයා එරට ජාතික දින රැස්වීම අමතමින් කළ කතාව ඇසුරෙන් සකස් කළේ - සමන් පුෂ්ප ලියනගේ