සාහිත්‍ය විචාරය නවකතාවට,කවියට සීමා වෙලා


නිර්මාණ රචකයකු ලෙස මෙන්ම ශාස්ත්‍රීය පර් යේෂකයකු ලෙස ද කෘති කිහිපයක්ම ලියා පළ කොට ඇති ආචාර්ය රංජිත් සේනානායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ‘‘සිංහල කවිය ඔපවත්වන යශෝධරාවත’’, ‘‘සිංහල සම්භාව්‍ය ගද්‍ය කාව්‍ය සංග්‍රහය’’, ‘‘ගැටපද විවරණ සහිත උම්මග්ග ජාතකය’’, ‘‘වියරණ විනිස සහිත ගිරා සදෙස’’, ‘‘මයුර සන්දේශය ශාස්ත්‍රීය සංස්කරණය’’, මාතු පාදං නමාමි (නවකතා) ආදිය සේනානායක මහතාගේ කෘති කිහිපයකි. දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නමැති පර් යේෂණ කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළි දැක්වුණි. මතු දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි. 

• ඔබේ නවතම පර් යේෂණ ග්‍රන්ථයට පාදක වී ඇත්තේ වැදගත් ක්ෂේත්‍රයක් බව පේනවා. මේ පර් යේෂණයේ දී ඔබ ඉවහල් කොට ගත් කරුණු කාරණා සහ එහි නිගමන ගැන මුලින් කතා කරමු.  

2017 වසරේ විශ්වවිද්‍යාලවල සංස්කෘත මධ්‍යස්ථාන හරහා කරන ලද පර් යේෂණයේ දී අප තෝරා ගනු ලැබුවේ දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍රමන්ත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමටයි. ඒ සඳහා සිංහල, ආර්ථික විද්‍යා විශේෂවේදී විද්‍යාර්ථයින් දස දෙනෙකු සහභාගි කරවා ගෙන මාතර දිස්ත්‍රික්කය ආවරණය වන පරිද්දෙන් යන්ත්‍රමන්ත්‍ර විෂ වෙදකම පිළිබඳව අධ්‍යයනයක යෙදුණා.

කණ්ඩායම් දෙකක් වශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 ම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර අධ්‍යයනයක යෙදුණේ වෙදවරුන් මුණ ගැසීමට ඔවුන්ගේ වෙදකම් ක්ෂේත්‍ර ගැන අධ්‍යයනය කිරීමටයි. ඒ අනුව මේ ක්ෂේත්‍රය තෝරා ගන්නට හේතු කිහිපයක් තිබෙනවා.

නෂ්ටාවශේෂ වෙමින් පවතින ග්‍රාමීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පවත්නා විශේෂතා හා වැදගත්කම් පෙන්වා දීම, දේශීය වෙදකම හා බැඳුණු සාම්ප්‍රදායික ඉගැන්වීම් ආරක්ෂා කරගෙන විෂ වෙදවරුන් සතු වෛද්‍ය ක්‍රමවේද හඳුනා ගැනීම, ඔවුන් විසින් නිස්සරණාධ්‍යාසයෙන් කරනු ලබන මේ සද් ක්‍රියා පිළිබඳ සමාජයට අවබෝධයක් ලබාදීම සහ අනාගත පරපුරට එය රැකදීම, විද්‍යාර්ථයන්ට ක්ෂේත්‍ර පර් යේෂණයක දී දත්ත එක්රැස් කරන අයුරු පිළිබඳ අත්දැකීම් ලබාදීම ඒ අතරින් කීපයක්.

කොහොම වුණත් මේ පර් යේෂණයේ අවසානයේ අපගේ නිගමනය වූයේ අපේ රටේ වටිනා දේශීය සෙත්ශාන්ති, වෙද හෙදකම් බොහොමයක් පවතින බව හා ඒවා විනාශ වන්නට ඉඩ නොදී ආරක්ෂා කළ යුතු බවයි. පුස්කොළ පොත් වෙනත් අත්පොත් ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබිය යුතු බවත් පෙනෙනවා.

• දේශීය වෙදකම හා බැඳුණු අප්‍රකට ජන සාහිත්‍යයක් අප සතුව පැවතියා. ඒ පිළිබඳව ඔබ කළ අධ්‍යයනය කෙබඳු ද? උදාහරණ සහිතව පැහැදිලි කිරීමක් ඒ සම්බන්ධයෙන් කළ හැකිද?

යන්ත්‍ර මන්ත්‍ර පමණක් නොව විශේෂයෙන් විෂ වෙදකම පවතින්නේ පද්‍ය සාහිත්‍යයක් යටතේ. සංස්කෘත ශ්ලෝක පාලි ගාථා සිංහල කවි පමණක් නොව ඒ හා බැඳුණු දෙමළ වචන ද බෙහෙවින් පවතිනවා. ඒ මතම ගොඩනැගී ඇති පද්‍ය සාහිත්‍යය වෙනම අධ්‍යයනය කිරීම වැදගත්. 

සර්පයෙකු දෂ්ඨ කෙරෙන අසුබ දවස් සිංහල කවියෙකු දක්වා තිබෙන්නේ මෙහෙමයි.

සෙනසුරාදා ඉරිදත් අඟහරුවාද   ත්ය

න දිනයකවත් පෝයක් ඇතිදාව ත්

එන පසලොස්වක පෝය පෙර දිනව ත්

පණ බේරුම බැරි වේ විෂ සපු කෑවො ත්

මෙබඳු කවි ශ්ලෝක සිංහල, පාලි, සංස්කෘත, දෙමළ වචන මිශ්‍රිත පාඨ උස් හඬින් ගායනා කරමින් මන්ත්‍ර ජප කෙරෙනවා. ඒ අනුව රිද්මයානුකූලව කියවිය හැකි පාඨ ආදියෙන් දේශීය වෙදකම පෝෂණය වී තිබෙනවා.

අපගේ මේ පර් යේෂණයේ දී බොහෝ වෙදැදුරන් ළඟ පුස්කොළ පොත්, අතින් ලියන ලද කොපි පොත්, යන්ත්‍ර අඳින ලද පුස්කොළ පොත් දකින්නට ලැබුණා. සමහර පුස්කොළ පොත් අපට අතින්වත් අල්ලන්න ඉඩ දුන්නේ නැහැ. 

අපගේ අධ්‍යයනයෙහි විෂ වෙදකම සම්බන්ධ බොහෝ කරුණු ඇතුළත්ව තිබෙන්නේ සංස්කෘත, සිංහල කවි ගායනා ඇසුරින්. නාගයෙකු දෂ්ට කිරීමෙන් ඇතිවන රෝග ලක්‍ෂණ පැහැදිලි කරල තියෙන්නේ කවියෙන්.  

නයෙක් කෑ මුඛයේ විෂ නතරය  වන්නේ
සියක් අසුර ගසනා පමණා  ඉන්නේ
සැරත් කැක්කුම වේදනාගින් ලන්නේ
මේ ලක්ෂණින් මුඛ විෂ පිට දැන  ගන්නේ
මෙපමණක් නොව බෙහෙත් හඳුන්වා දීම සිදු වන්නේත් කවියෙන්. 
විරිය කුලේ වල් තල බටු බලා කොළ
හරිය සමා කෙටු මිරිකා නස්න කළ
කෙරිය ඇගේ ලේපය එම යුෂ සියළ
දැරිය රුදා කරවැල් කෑ විෂය  පළ

මෙයින් කියැවෙන්නේ මුරුංග පොතු, බටු කොළ, බැබිල කොළ සමව ගෙන කොටා මිරිකා යුෂ නස්න කරනු. ඒ යුෂ ඇඟේ සැම තැන ගානු කියායි. මේ ආදී වශයෙන් දේශීය වෙදකම හා බැඳුණු රසවත් සාහිත්‍යයක් අඩංගු  බව පෙනෙනවා. එය කට පාඩම් කිරීමට පහසු කිරීම සඳහා පමණක් නොව මතක ශක්තිය ඇති කිරීම සඳහාත් තාලයකට ගොඩ නැගී තිබෙනවා.  

• අනුරාධපුර පොළොන්නරු යුගවල දී මෙන්ම ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන දඹදෙණි අවධියේ දී වෛද්‍ය ක්ෂේත්‍රය හා බැඳුණු කෘති ගණනාවක් අපට හමු වෙනවා. මේ සම්බන්ධයෙන් අපට කළ හැකි නිරීක්‍ෂණ කවරාකාර ද?

අපගේ අධ්‍යයනයේ දී අවධානයට ලක් වූ තවත් කරුණක් වන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා දේශීය වෙදකමේ විකාශනය පිළිබඳව විමසීමයි. මේ සඳහා එක් පරිච්ඡේදයක් වෙන් කරල තියෙනවා. එයින් දඹදෙණි යුගය ගත්තොත් දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ප්‍රධාන වෛද්‍යවරයා හඳුන්වා තිබෙන්නේ “මහා වෙද්නා” යන නමින්.  මේ වෛද්‍යවරයා රජුගේ ආහාර පරීක්‍ෂාව, රෝග පරීක්‍ෂාව, ප්‍රථමාධාර දීම සිදු කළ බවත්, දෙවන පැරකුම් රජු රෝගීන්ට ඖෂධ ලබාදුන් බවත්, “කඳවුරු සිරිතේ සඳහන්” වනවා.  
“ව්‍යාධිත අයට බෙහෙත් පස දී ප්‍රතිකාර කරවා ගර්භනීන්ට දොළ පිළි තෙල්, මිරිස් හා වින්නඹු ස්ත්‍රීන් හා බාලයන්ට බෙහෙත් අඳුන් දී හා මදුරාහාරපාන වර්ග හා වෘද්ධයන්ට අඳුන් තෙල්...” ආදී වශයෙන් එහි දැක්වෙනවා. මෙයින් පෙනෙනවා, දඹදෙණි යුගයේ දී දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පුළුල්ව තිබූ බව. ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ සඳහන් වන්නේ,

“ප්‍රතිනියත මන්ත්‍රාදිය තිබියදී අනෙක් මන්ත්‍රාදියකින්...” ආදී වශයෙන්. එමෙන්ම මයුරපාද පරිවෙණාධිපති හිමියන් විසින් “යෝගාර්ණවය” ,  “ප්‍රයෝගරත්නාවලිය” යන වෛද්‍ය කෘති දෙක රචිත බවත් සඳහන් වෙනවා. එපමණක් නොව මේ යුගයේ “යෝගරත්නාකරය, වරයෝගසාරය” යනුවෙන් තවත් කෘති ද ලියවී තිබෙනවා.

අප විසින් කලින් කරන ලද අධ්‍යයනයට අනුව ඇතැම් විහාරස්ථානවල පුස්කොළ එකතුවක් තිබෙනවා. ඒ තුළ හෙළ වෙදකම, සර්ප විෂ වෙදකම, පිළිබඳව පුස්කොළ පොත් 200ට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. දේශීය වෙදකම අප අතරින් වියැකී යන්නේ අපේ රට පරගැති ජාතියක් වූ දා පටන්. මේ වටිනා පොත්වල අඩංගු රෝග වර්ග, විවිධ රෝග ලක්ෂණ බෙහෙත් වර්ග හඳුනාගෙන ඒ පිළිබඳ නව පර් යේෂණ සිදු කරන්නේ නම් අපේ දේශීය වෙදකම බටහිර වෙදකමටත් වඩා ඉහළට ගන්නට හැකියාව තිබෙනවා.

• අපෙන් අභාවයට යමින් ඇති මෙබඳු නව ක්ෂේත්‍ර පිළිබඳ නව පර් යේෂණ අපට වැඩි වැඩියෙන් අවශ්‍යව තිබෙන කාලයක් මේක.  ඒත් මේ සම්බන්ධව වර්තමාන සමාජය දක්වන උනන්දුව ගැන මොකද හිතෙන්නේ?

පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට අපේ රට නතු වීමත් සමඟ සමාජ, දේශපාලන, ආර්ථික අධ්‍යාපනික, සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයක්ම විපර්යාසයන්ට ලක් වුණා. දේශීය වෙදකම වෙනුවට බටහිර වෛද්‍ය ක්‍රමවලට අපි ගොදුරු වුණා. විවෘත ආර්ථිකයත් සමඟ ජනතාව රෝගීන් බවට පත්වුණේ විෂ ආහාර, බීම වර්ග පාවිච්චි කිරීමෙන්. අද වසංගතයක් මෙන් පිළිකා පැතිරී යනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝග නිධානයන්ට ප්‍රතිකාර කිරීමට අසීරු වෙනවා. ඒ සඳහා විශ්වවිද්‍යාලවල වෛද්‍ය ක්ෂේත්‍ර තුළ පර් යේෂණ කරන ක්‍රමවේද සකස් කොට ඇතිදැයි සොයා බැලීම වැදගත්.  රාජ්‍ය අනුග්‍රහය ඒ කෙරෙහි යොමු වී නැත.  

දේශීය වෙදකමට නිතර ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල. උසස් පෙළින් වෛද්‍ය විද්‍යාලයට පිවිසෙන දරුවන් අතරින් ඉතා සුළු පිරිසක් දේශීය වෙදකමට නැඹුරු කරනවා. එහෙත් පාසල් විෂයෙන් ද දේශීය වෙදකම සපුරා ඉවත් කර තිබෙනවා. එනිසා දේශීය වෙදවරු බිහි වීමේ ප්‍රවණතාව ඉතාමත් අඩුයි. ඒ නිසාම දේශීය වෙදකම පිළිබඳ පොතපත බිහිවීමත් අල්ප වෙමින් තිබෙනවා.

නූතන සාහිත්‍යාංග ලෙස කැපී පෙනෙන්නේ නවකතා, කෙටිකතා, නාට්‍ය, පද්‍ය නිර්මාණ, චිත්‍රපට ආදියයි. මේ කිසිවක් තුළ වෙදහෙදකම් ගැන අවධානයක් නැහැ. මනුෂ්‍ය ජීවිතය බැඳුණු ගැටලු සාකච්ඡා කිරීම නූතන සාහිත්‍ය තුළ කැපී පෙනුණත්, දේශීය වෙදකම, වගේ ක්ෂේත්‍ර අධ්‍යනයට වර්තමාන තරුණ කැල පෙළඹවීමක්වත් දක්නට නැහැ. සාහිත්‍යයක් නව පර් යේෂණ ඇතුළු විවිධ ඉසව්වලින් පෝෂණය වුණොත් තමයි එහි දියුණුවක් සිදුවන්නේ. ඒත් අද බොහෝ විට  සාහිත්‍ය විචාරය තුළද දැකිය හැක්කේ නවකතා, කවි ගීත ආදිය ගැන පමණයි.

• විශ්වවිද්‍යාලවලින් වර්තමානයේ මෙබඳු නව ඉසව් සොයා යන පර් යේෂණ කෘති පළ කිරීම ඔවුන්ගේ වගකීමක් නේද? එය හරියාකාරව ඉටු වෙනවාද? 

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම වර්තමානයේ යොමු වී තිබෙන්නේ නැණවතුන්, බුද්ධිමතුන් බිහි කිරීමට වඩා වෘත්තිකයන් බිහි කිරීමටයි.  එහෙත් අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් නොමැති නිසා ඒ බිහි කරන වෘත්තිකයන් ද රැකියා විරහිත වී සිටිනවා. සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොදවමින් පර් යේෂණ කිරීම, විවිධ අධ්‍යයනවල යෙදීම විශ්වවිද්‍යාලවලින් සිදු කරන්නේ නම් අපගේ නෂ්ටාවශේෂ වන මෙබඳු ක්ෂේත්‍රවලට ද ලැබෙන්නේ සුරක්‍ෂිතතාවක්. එහෙම වුණොත් නව සොයා ගැනීම් කෙරෙහි විද්‍යාර්ථීන් ද යොමු වනු දැකිය හැකියි. ඒත් වෘත්තිකයන් හදන අධ්‍යාපන ක්‍රමයෙන් නිර්මාණශීලී මිනිසුන් බිහි වෙනවාද යන්න ගැටලු සහගතයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් සේනානායක 

සංවාද සටහන ගාමිණි කන්දේපොළ