මීට දශක කිහිපයකට පෙර “යොවුන් පහන්වැට” නිර්මාණ කේන්ද්‍රය හරහා නිර්මාණ ක්‍ෂේත්‍රයට පිවිසි රන්ජිත් මල්ලියාවඩු නූතන සිංහල කවිය තුළ පාඨක විචාරක අවධානයට ලක්වූ කවියෙකි. ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වන “ඇස් ලැබීම” කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය.
එසේම “සහෝදර මුහුණුවර” කාව්‍ය සංග්‍රහය රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එය එම වසරේ රාජ්‍ය සම්මාන අවසන් වටය නියෝජනය කළේය.
‘මංගල දියවර’, ‘නිඳි නැති ගඟ’, ‘යළි ගලා යනු පිණිස’ වැනි කෘති ඔහුගේ වෙනත් කාව්‍ය සංග්‍රහ අතර කැපි පෙනෙයි. මල්ලියාවඩුගේ නවතම කාව්‍ය සංග්‍රහය “එල්ලංගාව” නමින් එළිදැක ඇත. එය කවිවර ප්‍රකාශනයකි. මේ එම කෘතිය පදනම් කොටගෙන පැවැති සංවාදයක සටහනකි.
• ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘එල්ලංගාව’ කෘතියේ අත්දැකීම්, පසුබිම්, ඒවාට දැරූ ප්‍රයත්නයන් ගැන කෙටියෙන් යමක් කියන්න පුළුවන් ද?
“වසර හතළිහකට මාස කිහිපයක් පමණක් අඩු මගේ රාජ්‍ය සේවා ජීවිතය බස්නාහිර පළාතෙන් ඇරැඹී නිමා වෙන්නෙ ප්‍රත්‍යන්ත මාගම්පුරයෙන්. අවසාන සේවා ස්ථානය දකුණේ දුෂ්කර පළාතක කලාප අධ්‍යාපන කාර්යාලයක. මේවා ප්‍රශ්න, ගැටලු, දුක්ගැනවිලි, අත්දැකීම් තෝතැනි. එහිදී ගෙවූ අවසාන වසර හතර විශේෂයි. අනෙක් අවුරුදු තිස් හයටම වඩා බරපතළයි. අධ්‍යාපන කාර්යාලයක් වැනි තැනක ඒ සා ගුප්ත අන්ධකාරයක් පැවැතීම මට මහා සංවේගයක් වුණා.
හැබැයි මේ තමයි බොහෝ දේවල් දෙස මා වඩාත් මධ්‍යස්ථව බැලූ කාලපරිච්ඡේදය. ඒ වගේම මම ජීවිතය පුරාම පුංචි මිනිසුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි මිනිසෙක්. පෞද්ගලිකව මට අත්කරගත හැකි බොහෝ දේ මගෙන් ඈත්වෙනු දකිමින්ම මං ඒ වෙනුවෙන් කැප වුණා. මිනිස්සු පරාක්‍රම සමුද්‍රය ගැන කතා කරනවා. බලන්න යනවා. ඒත් ඒ වාපි එල්ලංගාවේ එක කුළු වැවක් ගැනවත් කවදා හෝ එවන් සැලකිල්ලක් දක්වා නෑ. මම එදා සිටම සිටියේ මේ කුළු වැව් පිළිබඳව අවදියෙන්. අලුත් කවි පොත එවන් අත්දැකීම් අතරින් මිරිකා, පෙරා ගත් ශේෂයක්. එය ‘එල්ලංගාව’ යැයි නම් කරනු ලබන්නෙත් ඒ නිසා.”
• අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කිරීමේදී ඒ වෙනුවෙන් ගන්නා වෙහෙස, යොදා ගන්නා කාව්‍යෝපක්‍රම ආදිය කවියාගෙන් කවියාට වෙනස් වෙනවා. ඒ හැඩය නිරුත්සාහකව මතු වෙන්නක් ද? අධ්‍යයනයේ ඵලයක් ද?
“ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය යන කාරණා ඇසුරෙහි සාකච්ඡා වෙන්නේත් මීට සමාන්තර කාරණා. මෙහි නිරුත්සාහකව එන දෙයකුත් තියෙනවා. යම් ජන කුලකයක් ගතහොත් එහි වන සියල්ලන්ටම විවිධ අත්දැකීම් තියෙනවා. එහෙත් ඒවා නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඒ හැමෝටම නෑ. ඊට යම් හුරුවක් තිබිය යුතුයි. අපි සතතාභ්‍යාසය යනුවෙන් හඳුන්වන්නේ මේ හුරුවයි. අත්දැකීමකට උචිත හැඩයක්, වර්ණයක් දීමට ඒ හුරුවත් ප්‍රමාණවත් නෑ. අධ්‍යයනයෙන් ලද දැනුමත් අවශ්‍යයි. පතල්කරුවන්ට, මැණික් ගරන්නන්ට මැණික් ඔප දමන්න බෑ. ඊට මැණික් ඔප දැමීමේ කලාව පිළිබඳ දැනුමත් අවශ්‍යයි. ඒ වගේම ඒ දැනුම භාවිත කිරීමේ හැකියාවත් තිබිය යුතුයි. කවියකට අපූර්ව හැඩයක් ගෙන දීමටත් ඔබ පවසන මේ දෙකරුණම එක වගේ සම සමව උපකාරී වෙනවා.”
• පැරැණි සිංහල කවි මගේ ආලෝක දහරා, මූලාශ්‍ර අපේ නව කවියන් අදටත් සාර්ථක ලෙස පෙරාගන්නවා. මේ අතීත සම්ප්‍රදාය අප අධ්‍යයනය කළ යුත්තේ ඇයි?
“මම අතීතයක් නැති මිනිසෙකැ‘යි යම් කෙනකුට පැවැසිය හැකි වුවත්, සෑම දෙයකටම සුළු හෝ අතීතයක් තියෙනවා. යොවුන් වියෙහි ළමා වියේ උරා ගත් දේ දකින්න ලැබෙනවා. ළමා වියෙහි ළදරු වියේ ඇතුළු වූ දේ දකින්න ලැබෙනවා. මේක ජෛව විද්‍යාත්මකවත් සත්‍යයක්. අනාගතය ගොඩනැඟෙන්නේ අතීතය ඔස්සේ බවට පෙන්වා දෙන්න මේ වගේ නිදසුන් අපමණ තිබෙනවා.
සම්ප්‍රදායන් අපට උරුම කර දෙන්නේත් මේ අතීතය. සම්ප්‍රදාය විරෝධී කියන්නා තුළත් සම්ප්‍රදායක් තිබෙනවා. සම්ප්‍රදායන්ගේ යහ ලක්ෂණ සේම අවර ගණයේ ලක්ෂණත් තිබෙනවා. සමාජ ප්‍රගමනයට එදා සිට අද දක්වා මේ යහ ලක්ෂණ හේතුකාරක වී තිබෙනවා.
කවියා කියන්නේත් මේ සමාජයේම සත්වයෙක්. ඒ නිසා ඔහුට පමණක් එයින් බැහැර වෙන්න බෑ. කවර ක්ෂේත්‍රයක වුවත් සම්ප්‍රදාය කියන්නේ අප බැඳ තබා නොගත්, අපට යන්න ඉඩ දී පිටුපස සිට බලාගෙන සිටිනා ගුරුවරයෙක්. මාර්ගෝපදේශකයෙක්.”
• හැඟීම් දනවන සියුම් කවි බසක් කවියට අත්‍යවශ්‍ය බව කියැවෙනවා. කොහොම ද එවැනි බසක් ගොඩනඟා ගන්නෙ?
“කවිය රචනා කළ යුත්තේ මේ බසින් යැයි පූර්ව නිශ්චිත බසක් ලොව කුමන භාෂාවකවත් නෑ. මෙය අසවල් කවියාගේ බස යැයි නාම ගැන්විය හැකි බසකුත් ලොව කොතැනකවත් නෑ. එසේම සෑම අත්දැකීමක්ම එකම බසකින් රූපණය කරන්නත් බෑ. අත්දැකීමෙන් අත්දැකීමට කවිය ඉල්ලා සිටින්නේ ඊට අනුරූපී බසක්. මෙන්න මෙතැනදි සුවිශේෂී අනන්‍යතාවන් ගොඩනඟා ගැනීමට අත්දැකීම් බහුල, බොහෝ ඇසූ පිරූ තැන් ඇති කවීන් සමත් වී සිටිනවා.
විශේෂයෙන් කවි බස යනු නූතනම අත්දැකීම් සමග නිරන්තරයෙන් යාවත්කාලීන විය යුත්තක්. නූතන පුර වැනුමකට ‘ජයවද්දනපුර වැනුමේ’ උපයුක්ත භාෂාව ගැළපෙන්නෙ නෑ. ඒත් ඉන් හොඳ ආභාසයක් ලැබිය හැකියි. මේ ආභාසය කොත්තු රොටී භාෂාවකට පාර කපන්නක් ද නොවීම වැදගත්.”
• කවියන්, ලේඛකයන් පැතූ සමාජය අපේ රටේ බිහි නොවූ බව ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පත්ති මහතා අප සමග පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියා. මේ ගැන ඔබේ අදහස කුමක් ද?
“මෙය දීර්ඝ ලෙස ගැඹුරින් සාකච්ඡා විය යුතු කාරණාවක්. මෙය සත්‍යයක්. අපට අදටත් තිබෙන්නේ දැනුම, විභාග අරමුණෙන් ඔබ්බට ප්‍රඥා මාර්ගගත නොවූ අධ්‍යාපනයක්. පාසල් දරුවකුට පමණක් නොවෙයි, සරසවි මානව, මානවිකාවන්ටත් නිර්දේශිත කවියක්, කෙටිකතාවක් විභාගයකදී ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙන තවත් එක් පාඩමක් පමණයි. ජීවීතාලෝකය දල්වන්නක් නොවෙයි. රසාස්වාදය වඩවන්නක් නොවෙයි.
වැඩිහිටි පරම්පරාව ද ඇතුළුව සියල්ලන්‍ටම අවශ්‍යව ඇත්තේ ‘ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා’ සමාජ වටපිටාවක් පමණයි. මේ පණ අදින සමාජයේ ජීවමය පරිවර්තනයක් නොවෙයි. වර්තමානයේ නම් සාහිත්‍යය තියෙන්නෙත් සම්මාන ප්‍රාර්ථනා ලෝකවල මිසක් පොදු ජනයා අතරේ නොවෙයි. ඒ නිසා අප ප්‍රාර්ථනා කරන තැනට ජන මනස අවදි වනු ඇතැයි සිතීමත් එක්තරා ස්වප්නයක්.”
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ප්‍රවීණ කිවියර රන්ජිත් මල්ලියාවඩු