‘ජාතික සංහිඳියාව’ යනු කට වචනයෙන් නිර්මාණය කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සියලු ජාතිකත්ව අතර අව්‍යාජව මතු වූ උවමනාවක් ද ඒ හා බැඳුණු දියුණු ක්‍රියාකාරීත්වයක් ද අවැසිය. එම ක්‍රියාකාරීත්වයේ පදනම විය යුත්තේ යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාව වේ. එසේ නොවන්නේ නම් ජාතික සංහිඳියාව යනු මුද්‍රිත – වාචික අක්ෂරවලින් මැවූ ඇස්බැන්දුමක් පමණි.
බලය ලබා ගැනීමටත්, ලබාගත් බලය රැක ගැනීමටත් සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයෝ ජාතිවාදය පළිහක් කර ගත්හ. එමෙන්ම බඩගෝස්තරවාදය උදෙසා ජාතිවාදී ගිනි පුළිඟු දල්වන ඩොලර් කාක්කෝ ද සිටිති.
නිදහසින් පසුව ගෙවා ආ හැත්තෑ පස් වසර තුළ මේ වියරු සංග්‍රාමයෙන් මළ කඳන් ගොඩගැසුණි. ලේ විල් ඉදිවිය. තවමත් එම අතීතගත තුවාලවලින් නැගෙන වේදනාව තිබේ. ඒ සංග්‍රාමයෙන් නැගුණු කඳුළු බිඳුවල ලප කැළල් තිබේ.
සැබැවින්ම අවශ්‍ය වන්නේ එකී අතීත ලප කැළල් මකා දමන අලුත් ප්‍රවේශයකි. සෑම ජන වර්ගයකටම අයත් සාතිශය බහුතරයක් ජනයා ඒ වෙනුවෙන් පෙනී සිටිති. පේවී සිටිති. එහෙත් තම පටු හා පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ප්‍රයත්නයක යෙදෙන පාපී සහ නීච කණ්ඩායම් තවමත් සක්‍රීයව සිටිති.
යුද සමයේ දී උපවාසයකින් මියගිය එල්.ටී.ටී.ඊ. හිතවාදියකු වූ තිලීපන් නමැත්තා සිහි කරමින් උතුරට ගමන් අරඹා තිබූ රථ පෙළපාළියකට ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් සර්ධා පුරදී මග හරස් කර ප්‍රදේශවාසීන් පිරිසක් පහර දීමේ පුවතක් ඉකුත් දා වාර්තා විය. එම පහර දීමට අදාළව සැකපිට පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
තිලීපන් සමරුව සම්බන්ධයෙන් තිබෙන්නේ ප්‍රශ්නගත තත්ත්වයකි. නෛතිකව බැලුවහොත් එල්.ටී.ටී.ඊ සංවිධානය යනු තහනම් සංවිධානයකි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. හිතවාදියකු වූ තිලීපන් සැමරීම ප්‍රශ්නයකි. එය සංවිධානය කළ වුන් ඒ බව පළමුව තේරුම්ගත යුතුය.
මෙසේ ප්‍රසිද්ධියේ මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදීමෙන් කිසියම් විරෝධයක් මතු විය හැකි බව උපකල්පනය කළ යුතුව තිබිණි. එමෙන්ම නීති විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් අදාළ අංශ දැනුම්වත් කර නීත්‍යනුකූල ලෙස පියවර ගන්නවා මිස ප්‍රහාර එල්ල කිරීම එක් අතකින් නීතිය අතට ගැනීමකි. අනෙක් අතට අශිෂ්ට ක්‍රියාවකි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලිස් අවසරයකින් තොරව තිලීපන් සැමරුම් රථ පෙළපාළියකින් සිංහල ජනතාව වෙසෙන ප්‍රදේශයකට රැගෙන ඒමෙන් ජාතීන් අතර සංහිඳියාව හා සමගිය විනාශ වූ බවය. මේ ප්‍රකාශයේ ද දෙපැත්තක් තිබේ.
කෙසේ වුවද මෙතැන තිබෙන්නේ සිංහල - දෙමළ ප්‍රශ්නයක් නොවේ. නීතිමය ප්‍රශ්නයකි. ඒ ඒ ජාතිකත්වයන්ට අභිමත පරිදි කටයුතු කිරීමේ නිදහස තිබිය යුතුය. දෙමළ ජනයාගේ රැස්වීමක් කොළඹ පැවැත්වීමට ද සිංහල සංවිධානයක පිරිසකට උතුරට ගොස් රැස්වීමක් පැවැත්වීමට අයිතියක් හා නිදහසක් තිබිය යුතුය.
සැබෑ ජාතික සමගිය යනු එයම විනා වෙන යමක් නොවේ. ඒ ඒ ජාතිකත්වයන්ට අයත් සංස්කෘතියන් හි විවිධත්වයක් තිබේ. විචිත්‍රත්වය තිබෙන්නේ ද එම විවිධත්වය තුළම ය. එය දැකීමට සමත් අලුත් ඇසක් නිර්මාණය කරගත යුතුය. නැතහොත් අපට මේ සැහැසි ඉරණමෙන් කවදා හෝ ගැලවීමක් තිබේද යන්නද ප්‍රශ්නයකි.
(***)