සිමෙන්ති මිල බැස්සීම යම් තරමක සැහැල්ලුවක්


ප්‍රීතිය දනවන පුවතක් මුල් කර ගනිමින් මෙම තීරුව ලිවීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ කලාතුරකින් ලැබෙන වරම අද ලැබී තිබේ. එම ප්‍රීතිමත් පුවත නම් සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක මිල රුපියල් 300කින් අඩුවන බවය. නලීන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කර තිබුණේ එසේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් අඩු කිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බවය.

අමාත්‍යවරයා අප පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඩොලරයේ අගය අඩුවීම පිළිබඳව අවධානය යොමු කර සිමෙන්ති සමාගම් සමග සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවය. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිබිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමිනියම් සහ වයර් ආදී භාණ්ඩ ආනයනය කරන සමාගම් සමග ද ඒවායේ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. 

‘හිසට සෙවණක්  ලැබීම හිතට නිවනක් ලැබීම’ බව කවුරුත් පිළිගන්නා ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම තමාගේම වූ නිවෙසක් තනා ගැනීම සාමාන්‍ය මිනිසුන්ගේ සිහින අතර ප්‍රධාන සිහිනයකි. එහෙත් දෙතුන් වසරක සිට එම සිහිනය ගිනි ගනිමින් තිබිණි. නිවෙසක් තනා ගැනීම සිහිනයෙන් හෝ නොසිතිය යුතු අකැප දෙයක් බවට පත්ව තිබිණි.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් අඩු වූවා යැයි කියා එම සිහිනය ජීවමාන යථාර්ථයක් බවට පත් වන්නේ නැත. එහෙත් එම සිහිනය සැබෑවක් බවට පත් කර ගැනීමට අනාගතයේ දී යම් ඉඩක් ලැබෙන බවට කුඩාවට හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට එම ප්‍රවෘත්තිය හේතුබල සම්පන්න වේ. 

ආහාරපාන, ඇඳුම් පැළඳුම් බෙහෙත්හේත්  සහ නිවාස මිනිසාගේ මූලික අවශ්‍යතා වේ. ඒවා බාධක විරහිතව ලබා ගැනීමට තිබෙන හැකියාව මූලික අයිතිවාසිකම්වලට ද අයත්ය. රටක ජීවත් වන පුරවැසියාට මෙම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පහසු ඉඩක් නිර්මාණය කර දීම බලධාරීන්ගේ වගකීමය. ජනතාව විසින් පාලකයන් පත්කර ගනු ලබන්නේ ද එම කරුණ  පෙරටු කරගෙනය. 

‘අපි හම්බ කළොත් අපි කෑවා’ යැයි කියමනක්  සමාජයේ වෙයි. එමගින් අප පුරවැසියාගේ ජීවන විලාශයත් ජීවන විලාසිතාවත් විද්‍යමාන වේ. එහෙත් ඉකුත් සමය යනු හම්බ කළත් කන්න දෙයක් නොතිබූ යුගයකි. කෙතරම් මිල මුදල් තිබුණ ද අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාවක් ඉකුත් සමයේ නොවීය. ඩොලර් සංචිත ඉතිරි කර ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නැගුණේ ආනයන භාණ්ඩ සීමා කිරීමය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට එය මාරාන්තික විය. 

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. එහෙත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීමත් සමග වැඩ බිම් මුඩුබිම් බවට පරිවර්තනය විය. ලක්ෂ ගණන් ජනයාගේ ආදායම් මාර්ග ඇහිරී ගියේය. ඔවුන් කන්නෙ බොන්නේ කොහොමද, දූ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට හෝ කෙනෙක් නොවීය. එය මාහට ආපදාවකින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි. 

රුපියල් 1000ට පමණ තිබූ සිමෙන්ති කොට්ටයක් රුපියල් 2600ක් වැනි මිලකට වැඩි වූ පසු පවතින ආර්ථික අර්බුදය  හමුවේ සාමාන්‍ය ජනයාට නව නිවෙසක් තනා ගැනීම නිවෙස අලුත්වැඩියා කර ගැනීම සිතීමටත් නොහැකිය. එයට සමාන්තරව ටයිල්, යකඩ, ඇලුමිනියම් හා වයර් ආදි භාණ්ඩවල මිල ද අහස උසට ඉහළ ගියේය. 

මෙම පරිසරය තුළ නිර්මාණය වන්නේ බලාපොරොත්තු සීසීකඩ කඩා ඉහිරුවා ගත් මිනිසුන්ය. සමාජ අසහනය ලෙස ප්‍රකාශයට පත්වන්නේ එම අපේක්ෂා භංගත්වය විනා අන් යමක් නොවේ. එබඳු ඉරණමකට ගොදුරු වූ මිනිසා විසඳුම ලෙස විනාශයක්ම තෝරා ගැනීමට තිබෙන ඉඩකඩ වැඩිය.

රටක ජනයාට ප්‍රීතියෙන් හා ප්‍රමෝදයෙන් කල්පනා කිරීමට ඉඩ විවර කළ යුතුය. උපයන මුදල ජීවත් වීමටත් නොසෑහෙන පරිසරයක නිවෙසක් තනා ගැනීම වැනි අත්‍යවශ්‍ය දෙයකට පවා යොමුවීමට නොහැකිය. සිමෙන්ති මිල රුපියල් 300කින් අඩු කරන බවත් අනෙකුත් අමු ද්‍රව්‍යවල මිල අඩු කිරීමට අදාල සමාගම් සමග සාකච්ඡා කරන බවත් වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම ප්‍රබෝධයට හේතුවකි. එමෙන්ම මෙම ලාභංශ ​ පොදු මහජනයා අතට පත්වන්නේ ද යන්නත් සොයා බැලිය යුතුය.

(***)