ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක නොවන සෑම රටකම පාහේ පවතින්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. ලෝකයේ වඩාත් යුක්ති සහගත පාලන ක්‍රමයක් ලෙස පිළිගැනෙන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් තිබේ.
දකුණු ආසියානු කලාපය ගත් කල ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් දියුණු පාලන ක්‍රමයක් සේ පිළිගැනේ. බ්‍රිතාන්‍ය කිරීටය මෙරටට සෙසු රටවලට වඩා කලින් සර්වජන ඡන්ද බලය ප්‍රදානය කළේ අප රටේ දේශපාලන ව්‍යුහයේ එදා පැවති ගුණාත්මකභාවයට හා දියුණුවට පිළිගැනීමක් ලබා දෙමිනි.
1948 දී මෙරටට නිදහස ලැබී දැනට වසර 74ක් පමණ ගතවී ඇත. මෙම වසර 74 තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධව මැදහත් අධ්‍යයනයක යෙදෙන්නකුට පිළිගන්නට සිදුවන ප්‍රධානම කරුණක් වන්නේ ගත වූ වසර 74ක කාලයේදී වසරින් වසර ප්‍රජාතන්ත්‍රවාදයේ හරයාත්මක පක්ෂය හෑල්ලු වී ගිය බවයි.
පටු දේශපාලන අරමුණු සහිත දේශපාලන පක්ෂ විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් විසින් ස්ථාපිත කළ අරුත් වනසා දමා තිබෙන බව කනගාටුවෙන් වුව ද පැවසිය යුතුය. ගත වූ 74 වසරක කාලයේ පක්ෂ රැසක් සහ සන්ධාන ආණ්ඩු ගණනාවක් මෙරට ආණ්ඩු කර තිබේ. එලෙස කොතරම් පක්ෂ හා ආණ්ඩු තිබුණ ද ජනතාවගේ ප්‍රශ්න එහෙමමය. ඛේදවාචකය එයයි.
වාර්තා වන ආකාරයට දැනට මෙරට දේශපාලන පක්ෂ 75කට වැඩි ගණනක් මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබේ. මේ වසරේදීත් තවත් පක්ෂ 75කට වැඩි ගණනක් ලියාපදිංචිය සඳහා අයැදුම් කර තිබෙන බවට ද වාර්තා වෙයි. ඒ අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන නව දේශපාලන පක්ෂ සහ සන්ධාන ගණනාවක් ද මේ දිනවල එළිදකිමින් තිබේ.
විවිධ පක්ෂවල කලින් කලට දේශපාලනය කළ වාර ගණනාවක් ජනතාව අත්හදා බැලූ දේශපාලන බවත්හු අලුත් වර්ණ ගන්වාගෙන දේශපාලන පක්ෂ ලෙස හෝ සන්ධාන ලෙස බෞතිස්ම ලබා කරළියට පැමිණෙති. එසේ කරළියට පැමිණෙන දේශපාලනඥයන් සිය දේශපාලන හැව ඇර ඊට පෙර තමන් අනුගමනය කළ ප්‍රතිපත්ති සහමුලින් අමතක කොට අලුත් සුන්දර කතා ජනතාව හමුවේ දෙසා බාති. මෙය නිර්මාණාත්මක අතින් හොඳ ප්‍රයත්නයක් වෙන්නට පුළුවන. එහෙත් ඔවුන්ගේ මෙම රංගනය අසන දකින රටේ දහසකුත් එකක් පීඩිත ජනතාවගේ ගැටලුවලට එයින් විසඳුමක් ලැබෙන්නේ නැත.
මේ ආකාරයේ රටපටලැවිලි මතින් ඊළඟ මැතිවරණය ජයග්‍රහණය ඉලක්ක කරගෙන ක්‍රියා කරන දේශපාලනඥයන් සතුව ජනතාවගේ දැවෙන ප්‍රශ්න කිසිවකට නිසි විසඳුම් ඇති බව නොපෙනේ. ඔවුන් සැම කරන්නේ ඊට පෙර පැවති ආණ්ඩුව හොරුන්ගෙන් සහ දූෂිතයන්ගෙන් පිරී පැවති බව කියමින් විරෝධයෙන් ජනප්‍රියත්වය සොයා යාමයි. එහෙත් මෙහිදී ඔවුන් අමතක කරන කරුණ එම පාලන තන්ත්‍රයන්හි දේශපාලන මල් වට්ටියට ඔවුනුත් අතගසා සම්මාදම් වූ බව පමණි.
ලංකාවේ මෑතකාලීන දේශපාලනයේ වංචාව, දූෂණය සහ නාස්තිය ආණ්ඩුකරණයේ ප්‍රධාන විෂය පථයක් වන තරමට ඔඩු දුවා තිබේ. වෙනත් ආකාරයකට මෙය සඳහන් කළහොත් ආණ්ඩුවකට වංචා සහ දූෂණය පිළිබඳ අමාත්‍යංශයක් ස්ථාපිත කරන්නට තරම් හොරුන් බහුල ආණ්ඩු සමයන් අපි පසුකර ඇත්තෙමු.
අද රටේ ඩොලර් නැතිවන්නේත් ජනතාවට අත්‍යවශ්‍ය සම්පත් හිඟ වී ඇත්තේත් මෙම දේශපාලනඥයන්ගේ නිර්ලජ්ජිත හොරකම් සහ තක්කඩිකම් නිසා බවට පොදු සමාජ පිළිගැනීමයි. පසුගිය කාලයේ තරුණ අරගලය ලෙසින් එළිදැක්කේ ඒ සඳහා සමාජය දක්වන දැඩි ප්‍රතිවිරෝධයයි. පවත්නා ආර්ථික පීඩනය මත ඉදිරියේ දී අරගලයක් හටගතහොත් එය ඛේදවාචකයකින් කෙළවර විය හැකි බවට මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීන් හමුවේ පසුගියදා අනතුරු ඇඟවීය.
මේ නිසා දැන් රටට වහා අවශ්‍ය කරන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති සහිත පාලන තන්ත්‍රයකි. ඊට අපට දිය හැකි ආසන්නතම උදාහරණය ඉන්දියාවෙන් ලබාගත හැකිය. එරට සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාතික සැලසුම් කොමිසමයි. එම කොමිසම ඉතා බලවත් ආයතනයක් වන අතර එහි බලය ආණ්ඩු බලය ද ඉක්මවා යාමට තරම් ප්‍රබලය.
එනිසා වරින් වර ආණ්ඩු බලයට පැමිණියද ජාතික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති වෙනස් නොවේ. අපට ද අවශ්‍ය එබඳු තිරසාර සංවර්ධන ක්‍රමෝපායකි. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරි වසර 25කට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම එක්විය යුතු බවය. එය යහපත් අරමුණක් බව සඳහන් කරනු වටී.
එබැවින් රටේ අනාගතය ගැන අලුතින් සිතන පතන දැක්මක් සහිත දේශපාලනයක් රටට අත්‍යවශ්‍ය වී තිබේ. හතු පිපෙන්නා සේ බිහිවන දේශපාලන පක්ෂවලට හෝ සන්ධානවලට වඩා පොදු ජනතාවට වටින්නේ තමන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන ක්‍රමවේදයකි.
ආර්ථික වශයෙන් රට අන්ත ආගාධයකට වැටී සිටින මේ මොහොත එවන් ආරම්භයක් සඳහා සුදුසු අවස්ථාවක් අපට උදා කර දී තිබේ. එයින් ඵල නෙළාගෙන අළු ගසා දමා ජාතියක් ලෙස නැවතත් නැගී සිටීමට සුබ මොහොත එළැඹ ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි.
(***)