සියලු පක්ෂවලට පොදු මතයකට එන්න බැරිද?


ශ්‍රී ලංකාවේ පැවැති අර්බුදකාරී තත්ත්වය අවසන්ව වසරක් ගත වී ඇත. ගාලු මුවදොර දක්වා පැමිණ, නවාතැන් ගෙන සිටි අරගලකාරී පිරිස ඇති කළ පීඩනය හමුවේ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට සිදු විය. ගැටුම්, විරෝධතා සහ අරගලයේ අරමුණු විසුරුවා, ඔවුන්ගේ මතවාදය පැත්තකට තල්ලු කරන්නට පාලකයන්ට හැකි වී ඇත.

අරගලකරුවන් ආරම්භයේ සිට ප්‍රකාශ කරන ලද කරුණු තුළ වැදගත් කරුණු ගණනාවක් තිබේ. පවතින ජනතා හිතකාමීත්වයක් රහිත ක්‍රමය වෙනස් කරන බලකිරීම එයින් ප්‍රධානය. දූෂණ, වංචා රහිත අලුත් පාලනයක් සඳහා පෙළගැසිය යුතු බවට කරන ලද අවධාරණය තවත් වැදගත් කරුණකි.

කරුණු කෙසේ වෙතත්, උපක්‍රමශීලීව ආරක්ෂක අංශ මෙහෙයවන ලද ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව ඉතාම කෙටි කාලයක් ඇතුළත අරගලකාරීන්ගේ ඉල්ලීම් ඉවත දමන ලද අතර, ඔවුන්ගේ ඉල්ලීම් ද ඉවත දමන්නට සමත්ව සිටී. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් සටනක සිටි සෑහෙන පිරිසකට රජයේ දේපළ අලාභානි කිරීම හා නීතිය නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

අරගලකාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අද නැත. අරගලයේ කැපී පෙනුණ චරිත හුදෙකලා වී ඇත. මහජන ඡන්දයෙන් පත්කරගත් දෙසිය විසිපස් දෙනාම (225) ප්‍රතික්ෂේප වී සිටින අතර, ජනතාව අතරින් නම් කළ පිරිසට බලය පවරාගත හැකි තරමට ශක්තිමත්ව නැගී පැතිරුණ රැල්ල බෙලහීන වීමෙන් මාස දොළහකට පසු පොදු ජනතාවගේ මතකයෙන් ද මැකී යමින් තිබේ.

දෙකොට්ඨාසයම නැවතත් පුරුදු රාමුවට ඇතුළු වේ

අරගලය ඇති කරන්නට හේතු වූ කරුණු තවමත් නිරාකරණය වී නැත. ජනතා ප්‍රශ්න, ජීවත් වීමේ අරගලය, අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන අංශවල පවතින අසංවිධිතා එලෙසම පවතී. ඉන්ධන, විදුලිය සැපයුම හා අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන්නට වෙළෙඳපොළට හැකි වීම තාවකාලික උත්තරයකි. අසංවිධානාත්මකව, සැලැස්මක් රහිතව ජනතාව පාරට බැස්සවීමෙන් පමණක් රාජ්‍ය බලය ලබාගන්නට නොහැකි බව අවබෝධ වී ඇත. අරගලකාරීන් සිය ජවය උච්චතම ස්ථානයට පැමිණි මොහොත වන විට එතැනට සම්බන්ධ වීමෙන් පසු තම නම සලකුණු කරගත් බුද්ධිමත්, කලාකාමී සමාජ පිළිගැනීමක් ඇති පිරිස ද මෙම සිදුවීම ගැන පසුවිපරමක් කළ යුතුව තිබේ. 

තුරන් වූ අරගලය ගැන උද්දාමයට පත්වීම සුදුසු නැත. එවැනි වාතාවරණයක් බිහිකරන්නට හේතු වූ පසුබිම කෙරෙහි ජනතා නායකයෝ අවධානය යොමු කළ යුත්තෝය. පක්ෂ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයකි. ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීම ආවේනික ක්‍රමයකි. අරගලය අතරතුර සියලුම පක්ෂ දරුණු විවේචනයකට ගොදුරු විය. පක්ෂය ජනප්‍රිය කර ආණ්ඩුවක් හදාගන්නේ කෙසේ ද යන්න සලකා බලන්නට කලින් ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ පෑ අවදානම ගැන සොයා බැලීම සියලු පක්ෂවල වගකීමකි. රට ගොඩනගන්නට සැලැස්මක්, ජනතාව එකතු කර ධෛර්යය ඇති කරන බලවත් දර්ශනයක් දේශපාලන නායකයන්ට තිබේ ද? 

ජනතාව විඳින පීඩනය අමතක කරන දේශපාලන ක්‍රමය, නැවතත් පුරුදු රාමුවට ඇතුළු වී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාව සිද්ධිවලින් පාඩම් ඉගෙන ගන්නේ නැත. දකුණේ හා උතුරේ හටගත් ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාර මාලාව, අරගලය වැනි ප්‍රධාන සිද්ධිවලින් පසු සමාජ විශ්ලේෂණයක් කර නැත. දේශපාලනඥයන්ට හා ආණ්ඩුවට පමණක් දොස් තැබීම උත්තරය නොවේ. විනාශකාරී සිද්ධිවලට පසු පිරිහී, ආත්ම ශක්තිය දුබල වූ පසු රට එකතු කිරීම පහසු නැත. 

ක්‍රමයට විකල්පයක් නිර්මාණය කරන පිළිවෙළ

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තරය සලකා බලන විට නොබෙදුණු පක්ෂ නැත. අරමුණක් සඳහා කණ්ඩායමක් එකතු කරගැනීමේදී පුළුල් මතවාදයක් අවශ්‍ය කෙරේ. දැනට පවතින ව්‍යුහය නිරීක්ෂණය කළ පසු ජනාධිපතිවරණයට සූදානම් වන නායකයෝ බොහෝය. ඔවුන් අතරින් සුදුසු පුද්ගලයකු තෝරා ගැනීමට අවශ්‍යතාවක් පොදු ජනතාවට තිබේ ද? සුදුසු යැයි ඔවුන් ප්‍රකාශ කරන්නට කලින් ජනතාව අතරින් සුදුස්සාට වරමක් හිමි විය යුතුය.

රට තුළ දැනට පවතින ක්‍රමය වෙනුවට ජනතා හිතකාමී සමාජයක්, නිෂ්පාදන රටාවක් සහ ආර්ථිකයක් අවශ්‍ය වී තිබේ. වුවමනාවටත් වඩා ජාත්‍යන්තරයට මුහු වී ඇති සමාජ ක්‍රමයකට ජාතිකත්වය හා දූපත් ආර්ථිකය ගැළපෙන්නේ නැත. ගොවිපොළට, කම්හලට ඇතුළු වී නිෂ්පාදනය කර රට වෙනුවෙන් කැපවන පිරිස සීමිතය.

මැදි ආර්ථිකයක ඉහළට තල්ලු වෙමින් සිටි ජනතාව නැවත පහළට වැටී ඇති අතර, ඔවුහු නැවත රට ගොඩනගන්නට ආපසු නොහැරෙති. යථාර්ථය වටහා ගැනීම දේශපාලන නායකයන්ගේ වාසියට හේතු වේ. වැටුණ පසු නැගී සිටීමට සූදානම් වීම වෙනුවට වෙනත් රටකට හෝ පලාගොස් තමන්ගේ අනාගතය සරු කරගන්නට සිතන බහුතරයක් සිටින මොහොතක උපක්‍රම වෙනස් කිරීමට නායකයන් ශක්තිමත් විය යුතුය.

විධායක ජනාධිපති පදවිය ලැබුණ පමණින් රට ඔසවන්නට ලැබෙන්නේ නැත. හැත්තෑවේ හෝ අසුවේ පැවැති සමාජ ව්‍යුහය වෙනස් වී ඇති අතර, පවතින ක්‍රමය සඳහා විකල්ප පිළිවෙළක් සූදානම් කිරීම දේශපාලන පක්ෂවලත්, දේශපාලන නායකයන්ගේත් වගකීමකි. ගෝලීය ආර්ථිකයෙන් ගැලවීමට රටට හැකියාවක් නැත. විවෘත ආර්ථික ක්‍රමයට විරුද්ධ අදහස් පවතින නමුත්, එයින් ගැලවී ආපසු හැරෙන්නට සමාජය කිසිසේත් සූදානම් නැති බව ද මතක තබාගත යුතු කරුණකි. 

කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළට කැඳවීම

දැනට රට මුහුණ පා ඇති ඉරණම තුළ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප්‍රබල සාධකයකි. රජයේ සම්පත් හා ආණ්ඩුවක මැදිහත් වීම තුළ විශාල අකාර්යක්ෂමතාවක් ඇත. තරගකාරීත්වය හා නියාමනය රටට අවශ්‍ය කෙරේ. දේශපාලන පක්ෂ අතර තරගයක් නැත. තට්ටු මාරු ක්‍රමයක් පවතී. එය තුළ ආර්ථිකය ද නඩත්තු වේ. ආණ්ඩු වෙනස් වන විට ක්‍රමය වෙනුවට එයින් යැපෙන කණ්ඩායම පමණක් වෙනස් වේ. අවුරුදු පහකට හෝ දහයකට පසු තමන්ටත් අවස්ථාවක් එන බව අනෙක් කණ්ඩායම් තරයේ විශ්වාස කරන කරුණකි.

මෙම අතරමැදි පිරිස ඉවත් කරන අතර, ව්‍යාපාරවලින් ආණ්ඩු බැහැර නොවෙනතාක් ආර්ථිකයක් දියුණු කළ නොහැක. දේශපාලනඥයන් බලයට පත් කිරීමෙන් පසු යැපෙන පිරිස ගෙන යන ජාතික සම්පත් මතය ඉතාම නරක තත්ත්වයකි. නිලධාරීවාදයෙන් හා දූෂණයෙන් පිරි විදුලිය, ඛනිජතෙල්, ප්‍රවාහනය, මාර්ග සංවර්ධනය, ගුවන් සේවා සමාගම් ජාතික සම්පත් බවට තර්ක කරන්නේ කෙසේ ද?

අපට අවශ්‍ය දේ අප නිපදවාගත යුතුය යන මතයක් ද ඇත. මිථ්‍යා අදහසක් ලෙස පසෙකට කළ නොහැකි අතර, එය කළ හැක. එහෙත්, ලාබදායක නැත. වන්දි ගෙවන්නෝ පාරිභෝගිකයෝය. දැනට එය සිදු වෙමින් පවතී. ලෝකයේ අනෙක් වෙළෙඳපොළකට අඩු මිලකට අලෙවි කළ හැකි දේ නිෂ්පාදනය කර අපනයනය කරන අතර, වෙනත් රටක අඩු මිලට ඇති දේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට සැපැයිය හැකි ක්‍රමයක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ හැකි හෝ සැපැයිය හැකි සේවා තෝරාගෙන, ඒවා වෙනුවෙන් වැඩ කිරීම පාලකයන්ගේ වගකීමකි. 

බදු සඳහා වන්දි ගෙවන්නේ පාරිභෝගිකයන්ය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල භාරගෙන ඇත. සැලැස්මකට අනුව මාස හතළිස් අටකට පසු යම් අස්වැසිල්ලක් ලැබෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. ආදායම හා වියදම පාලනය කරන අතර, ණය ගැනීම සීමා කර ඇත. ආදායම වැඩි කරගැනීමට බදු වැඩි කරන ලෙස කරන යෝජනා ආණ්ඩුව පිළිගෙන තිබේ. මෑතකදී කරන ලද බදු සංශෝධන ජනතාව මත පටවන විශාල හිරිහැරයකි. උපයන විට වෙන ප්‍රතිශත වැඩි කිරීමෙන් පසු වැඩිපුර උපයන්නට වැඩ කරන ජනතාව වෑයම් කරන්නේ නැති බව නොවැටහීම කනගාටුවට කරුණකි.

එක්තරා සීමාවකට පසු සියයට තිස්පහ හෝ පනහ දක්වා ප්‍රතිශතයකින් බදු අය කරන තීරණ නිකුත් වූ පසු එම මට්ටම දක්වා උපයන්නට කිසිවකු උත්සාහ කරන්නේ නැත. එය නිෂ්පාදනය නංවන පියවරක් නොවේ. ඉපැයීම අඩු වන අතර, වියදම් කිරීම ද සීමා සහිත වන පසු ආර්ථිකයක් සක්‍රීය කරන්නේ කෙසේ ද? පවතින ධනය තරමට ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය කප්පාදු කිරීම මූල්‍ය අරමුදලේ වුවමනාව බව පෙනේ. මෙම කප්පාදුවට පසු ආර්ථිකය අලුතින් හදන්නට ගතවන කාලය හිරිහැරදායක පරිච්ඡේදයක් බව පාලකයෝ කල්පනා නොකරති. 

බදු වැඩි කරන අතර, ආර්ථිකය කප්පාදු කරන යෝජනා අතර මෙයින් අවාසියට පත්වන කොටසට සහන දෙන සේ දක්වයි. අස්වැසුම එහි පියවරකි. මෙතෙක් පැවැති සහනාධාර ක්‍රම ගලවා අලුත් ක්‍රමයක් අවුරුදු තුනකට හඳුන්වා දෙන නමුත්, මෙම ක්‍රමය ඇති කරන පීඩනය සලකා බැලිය යුතුය. ලක්ෂ දොළහකට අස්වැසුම බෙදන විට තවත් ලක්ෂ නවයක් අභියාචනා ඉදිරිපත් කර ඇත. මෙම සහන බෙදන්නේ ආණ්ඩුවේ අය වැය ලේඛනයෙන්ය. අය වැය පියවන්නට බදු වැඩි කරන පසු මෙම සහන ලබන්නේත්, ඒවාට ගෙවන්නේත් උත්පාදනයකින් නොවන පසු රටක් දියුණු කරන්නේ කෙසේ ද?

නොගැළපෙන උපක්‍රමවලට ගොදුරු වීමට හේතුව රටක් වශයෙන් අනුගමනය කරන වැරැදි ආර්ථික ප්‍රතිපත්ති බව සඳහන් කිරීම අවශ්‍යය. පැරැණි තීන්දුවලට දෙස් තැබීම රෝගයට ප්‍රතිකාරයක් නොවේ. ජනප්‍රියභාවය ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන පැවැති ආණ්ඩු තීන්දු ගත් අතර, ඡන්ද දිනන්නට සහන මලු බෙදා දිය යුතුය. නිෂ්පාදනයක් රහිත, ආදායම ප්‍රමාණවත් නොවූ රටක සහන රට භයානක ප්‍රපාතයක් තෙක් කැඳවා ඇත. සහන ක්‍රමවලට ගෙවන්නට සිදු වූ බව මහජනතාව වටහාගත යුතු කරුණකි.

ණය ප්‍රතිසංස්කරණය හා ආපසු ගෙවන දිනය

දේශීය ණය ප්‍රතිසංස්කරණ යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. බැංකු නිවාඩු පවතින අතරවාරයේ දැනෙන තීරණ ගන්නට ඉඩ ඇති බවට සැකයක් තිබුණි. එහෙත්, ණය ප්‍රතිසංස්කරණ සේවක අර්ථසාධක අරමුදල, භාරකාර අරමුදල හා බැංකුවලට බලපෑමක් ඇති කළේය. මෙමගින් ණය ප්‍රශස්තකරණයක් සිදු වූයේ නැත.

මෙහි දෙවැනි වටයක් නොබෝ දිනකින් අපේක්ෂා කළ හැකි වේ. ජනතාවට සියුම් හෝඩුවාවක් අමුණා ප්‍රතිඵලය නිරීක්ෂණය කළ අංශ අය වැයට පසු බදු වැඩි කරන ආකාරයට ඉදිරියේදී නැවත පොලී අනුපාත සම්බන්ධ තීරණයක් ගැනීමට කටයුතු කරනු ඇත. වාණිජ බැංකු පොලිය තවත් අඩු කිරීමකින් තොරව ආයෝජන ප්‍රාග්ධනය අඩුවට නොලැබේ. අධික පොලියකට පවතින රජයේ ණය ක්‍රමානුකූලව පරිවර්තනය නොවනතාක් මූල්‍ය ක්‍රමය කාර්යක්ෂම වෙන්නේ නැත. ඉදිරියේදී තැන්පත් පොලිය තවත් අඩුවන අතරවාරයේ තැන්පත් මත ලැබෙන ආදායමෙන් ජීවත්වන පිරිසට අත්වන ඉරණම ද සාකච්ඡාවට ලක්විය යුතුය.

ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම සම්බන්ධව ද තීරණ ගැනෙමින් පවතී. ඉදිරි සාකච්ඡාවලදී සංවර්ධන බැඳුම්කර ඇතුළු කල් පිරෙන විදේශ ණයවල මුහුණත අගය අඩු කිරීම හා පොලිය පහත දැමීම තීරණය කෙරෙනු ඇත. මෙම තීරණවල බලපෑම අනුව ශ්‍රී ලංකාවේ විනිමය අවශ්‍යතා සඳහා අරපරෙස්සම වැදගත් විය හැක. වාහන හැර අනෙක් භාණ්ඩ ආනයනයට ඉඩ දෙන නමුත්, මෙම ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය උපයන මාර්ග පැහැදිලි නැත. 

විදේශ ණය ආපසු ගෙවීම ආරම්භ කරන පසු සංචිත සම්බන්ධ ගැටලු නැවත ඇති විය හැක. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් තිබේ. ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායම අඩුය. කෘෂි අපනයන ආදායම ද අඩු වී ඇත. විදේශගත ශ්‍රමිකයන් එවන විනිමය සම්බන්ධයෙන් විශාල වර්ධනයක් අපේක්ෂා කළ නොහැක.

මෙම සංකීර්ණ තත්ත්ව පවතින ආණ්ඩුවට පමණක් නොව ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකටත් වහාම විසඳිය නොහැක. බලයට පත්වූ පසු උත්තර සෙවීම වෙනුවට දේශපාලන පක්ෂ එකතු වී සාකච්ඡා කළ යුතුව තිබේ. අරගලයට පසු ප්‍රජාතන්ත්‍රවාදය ගැන සලකා බැලීම දේශපාලන පක්ෂවල හා නායකයන්ගේ වගකීමකි. විනිමය උත්පාදනය හා ආර්ථිකය නැංවීම ද ආණ්ඩුවක් බලයට පත්ව අවසානයේ තීන්දු ගත හැකි තත්ත්වයක් නොවේ. මෙම අංශ දෙක ගැන පොදු සහයෝගීතාවකට ගමන් කළහොත්, නැවත වතාවක් පිපිරීමක් ඇති වීම වළක්වනු ඇත.

සාරා කන්දෙගොඩ