(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ හිටපු අධිපති වෑතර මහින්ද හිමි)
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ අභාවයෙන් 50 වසරකට පසුව අදට (09) යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ සහ නාලන්දා මහා විද්‍යාලයේ ආචාර්යවරයකු, නාලන්දාවේ විද්‍යාලයාධිපතිවරයකු ලෙසද සිය වෘත්තියත්, සමාජ මෙහෙවරත් පුළුල් ලෙස ඇරඹූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ නුගේගොඩ, ගම්පහ ආදී ප්‍රදේශවල පාසල් ආරම්භය සඳහා කැප වී ක්‍රියා කළේය.
නාලන්දාවේ විද්‍යාලයාධිපති තනතුරින් ඉවත් වී ලංකා විශ්වවිද්‍යාල කොලිජියේ සිංහල, පාලි, සංස්කෘත අංශවල කථිකාචාර්යවරයකු ලෙස 1927 දී බැඳුණු එතුමා, 1939 වර්ෂයේ දී විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියට පත්ව අනතුරුව 1942 සිට ලංකා විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨාධිපති පදවිය හොබවමින් බෞද්ධ සංස්කෘතිය සහ පාලි විෂයයන්හි මහාචාර්ය පදවිය ද 1957 වන තුරුම දරමින් මූලිකව කොළඹත් පසුව පේරාදෙණියේත් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන් අති මහත් සංඛ්‍යාවකට විශිෂ්ට ආචාර්යවරයකුගේ මෙහෙවර ඉටු කළේය.
1941 තරම් ඈත දී මෙරට තුළ පාලි, සංස්කෘත, සිංහල භාෂාව සහිතව ත්‍රිපිටකය හදාරා සිටි උගත් භික්ෂූන් වහන්සේලා 50 නමක් පමණ පිරිසක් අතුරින් 18 නමක් තෝරාගෙන උන්වහන්සේලාට පෙර අපර දෙදිග දර්ශනය, වාග් විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව ආදී විෂයයන්හි පරිචය ලබා දී තුන් වසරක් අවසානයේ දී ‘‘විද්‍යා විශාරද’’ නමින් උපාධියක් 1944 වර්ෂයේ දී ප්‍රදානය කිරීමට ක්‍රියා කළ නිසා භික්ෂු අධ්‍යාපනය ක්‍රමවත් ලෙස නූතන ලෝකයට උචිත වන සේ විධිමත්ව සකස් කිරීමෙහි මූලිකව නිරත වූ එකම ලාංකිකයා ලෙස ද එතුමා සැලකිය හැකිය.
1957 වර්ෂයේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් වෘත්තීයමය නිවාඩු ලබා අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මැදිහත් වීමෙන් සෝවියට් සමූහාණ්ඩුවේ තානාපති ධුරයට පත්ව 1959 දී පේරාදෙණිය සරසවියෙන් ඉල්ලා අස් වූ එතුමා ශ්‍රී ලංකාවේ සරසවි සිසුන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට සිදු කළ මෙහෙය උත්කෘෂ්ඨය.
1961 දක්වා රුසියාවේ තානාපති ධුරය හොබවමින් සිටි එතුමා චෙකොස්ලොවැකියාව, පෝලන්තය හා රුමේනියාව යන රටවල ද තානාපතිවරයා ලෙස 1959 වර්ෂයේ දී පත් කරනු ලැබීය. අනතුරුව 1961 සිට කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස වසර දෙකක් සේවය කළ එතුමා 1963 සිට 1966 වසර අවසානය තෙක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ඉමහත් සේවයක් ඉටු කළේය.
මේ කාල සීමාව තුළදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස කළ මෙහෙවර තුළින් එතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික ඥානය මෙන්ම, ජාත්‍යන්තර වශයෙන් එතුමා පිළිගැනීමට ලක්වූ ආකාරය අතිශයින් ප්‍රශස්ත ය. 1966 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් තනතුරින් ඉල්ලා අස් වී 1967 සිට ශ්‍රී ලංකාවේ ජාතික උසස් අධ්‍යාපන කොමිසමේ සභාපති පදවිය භාර ගෙන එවකට පැවති විශ්වවිද්‍යාල හතර මුල් කොට ගත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට 1971 දක්වා එතුමා නිසි මාර්ගෝපදේශ සැකසීමට ගත් පියවර ප්‍රශංසාර්හ වෙයි.
මලලසේකර සූරීන් විසින් 1925 තරම් අතීත කාලයේ දී ලියනු ලැබ 1928 දී මුද්‍රිත පාලි සාහිත්‍ය ඉතිහාසය සේම 1937/38 වර්ෂවල දී මුද්‍රිත පාලි සංඥා ශබ්ද කෝෂය 1956 දී ආරම්භ කොට දීර්ඝ කාලයක් තිස්සේ සකස් කෙරෙමින් පැවති බෞද්ධ විශ්ව කෝෂය සහිත වෙනත් ප්‍රකාශනයක් සලකද්දී එතුමාගේ ශාස්ත්‍රීය කෘති හා සම කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ කෘති සමකාලීන වෙනත් ලාංකික ශාස්ත්‍රවන්තයකු අතින් නිර්මාණය වූයේ නම් ඒවා අතිශයින් අල්පය.
එතුමා සමස්ත සිංහල පාඨකයන්ගේ භාවිතය උදෙසා ලියූ 1948 දී මුද්‍රිත ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂය මේ දිවයිනේ සාමාන්‍ය ජනයාගේ ප්‍රයෝජනයට අතිමහත් අන්දමින් උපකාරවත් වූවකි.
එතුමා කළ ප්‍රශස්ථ කාර්යයන් ගණනාවක් අතර බෞද්ධ තොරතුරු පරීක්ෂණ වාර්තාව 1956 වර්ෂයේ දී එළිදැක්වීම නිශ්චිතව හැඳින්විය යුතු වෙයි.
ලංකා කලා සංගමයේ සභාපති තනතුර ඇතුළු වෙනත් තනතුරු දරමින් ද, ලංකා කලා භවන නිර්මාණයේ තීරණාත්මක කාර්යයක යෙදෙමින් ද, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ මාසික දේශන මාලාව පැවැත්වීමේ කටයුතු මෙහෙයවමින් ද, ලංකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පුරාවිද්‍යා චාරිකා සඳහා ක්ෂේත්‍රවලට යන අවස්ථාවලදී ඔවුන් සමඟ ඒවාට සහභාගි වෙමින් ද මලලසේකර සූරීන් කලා සංස්කෘතික කටයුතුවලට මෙන්ම පුරාවිද්‍යා කටයුතුවලට සහභාගි වූ ආකාරය ප්‍රශස්ථය.
විසි වැනි සියවසේ මුල් දශක හතකින් පසුව 1973 වර්ෂයේ අප්‍රියෙල් 23 වැනි දින අභාවයට පත් වන තුරුම ගුණපාල මලලසේකර මහාචාර්යතුමා මෙතෙක් සඳහන් කළ විවිධ ක්ෂේත්‍රවලට සිදු කළ සේවාවන් ද අබිබවා යමින් මාහැඟි මෙහෙයක් සිදු කළේ බෞද්ධ පුනරුදය උදෙසාය. ඇතැම් විට ඉහත සඳහන් කරන ලද කරුණු මේ ක්ෂේත්‍රය සමඟ අනුල්ලංඝනීය ලෙස බැඳී පවතී. පාලි සංඥා නාම ශබ්දකෝෂය සහ බෞද්ධ විශ්වකෝෂය නිර්මාණය ඊට මනා නිදර්ශන දෙකකි. අතිරේකව ලංකා විශ්වවිද්‍යාලයේ බෞද්ධ විෂය ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය වන ජාත්‍යන්තර උගතුන් අති විශාල සංඛ්‍යාවක් බිහි කිරීමත්, අග්නිදිග ආසියාවේ, යුරෝපයේ සහ ඇමරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන විශාල සංඛ්‍යාවක් මෙහෙයවීම සහ ඒවා ඇමතීමත් ඒ අතර කීපයකි.
පරාධීන ජාතියක් ලෙස සිටිමින් නැගී එන ජාතියකට කළ අනගි මෙහෙවර මෙන්ම, අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව සිටි බෞද්ධ ජනතාව නගාසිටුවීමට එතුමා සිදු කළ නොයෙකුත් කාර්යයන් ඇතත්, 1950 වර්ෂයේ මැයි මස 25 වැනිදා සිට ජුනි මස 06 වැනිදා දක්වා එක අතකින් ලංකා සංස්කෘතික උරුමය ලොවට විදහා දැක්වීමට ද කළ පුරෝගාමී මෙහෙවරක් ලෙස සැලකිය හැකි ලෝක බෞද්ධ සම්මේලනය එතුමා පැවැත්වූ ආකාරය මෙරට පමණක් නොව බෞද්ධ ලෝකයේම ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන්නකි.
එතුමාගෙන් ඉගෙනීමට ඇති පාඩම් අසීමිතය. මීට වර්ෂ 50 කට පෙර අභාවයට පත්වූ එතුමාගේ උපන් දිනය සමරනු ලබන අවස්ථාවේ දී එතුමා මෙරට රාජ්‍ය නායකත්වයට වඩාත්ම ගැළපෙන්නේ විවිධ අංශවලින් අරාජික වූ රටක් වන ලංකාවට අද වැනි දිනකය.