අප රටට නිදහස ලැබුණු වර්ෂ 1948 සිට 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදෙන අවස්ථාව දක්වා පුළුල් සුබසාධන ප්‍රතිපත්තියක් අනුගමනය කරන සුබසාධන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විණ. ඒ සමඟම ශ්‍රී ලංකාවට ඈඳුණු නාමය වූයේ ඌණ සංවර්ධිත රටක් යන්නයි.
දෙවැනි ලෝක මහා යුද සමයේ ආරම්භ වූ සහල් සලාක ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන රජය හාල්පොත අවලංගු කරන තෙක්ම ක්‍රියාත්මක විය. එහෙත් සමාජයේ දිළිඳුම ජනකොටස් වෙත සහනාධාර පිරිනැමීමේ ක්‍රමය දැනට ක්‍රියාත්මක වන සමෘද්ධි ව්‍යාපෘතිය දක්වාම සක්‍රීයව පවතී.
සහල් සලාකය, ජනසවිය හෝ සමෘද්ධි යන කවර නාමයෙන් හැඳින්වුණද මෙකී සියලු වැඩසටහන්වලින් ඉලක්කගත වූයේ දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින ප්‍රජාවයි. මේ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ආදී ලෝක මුල්‍ය ආයතන ද නිරන්තර අනුග්‍රහය දැක්වීය.
එහෙත් මෙම අනුග්‍රාහක ආධාර ආයතන පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙනත් සමීක්ෂණ සංවිධාන මගින් ද අවධාරණය කරන කරුණක් වන්නේ දිළිඳු ජනතාව වෙනුවෙන් වෙන්කරන සමාජ ප්‍රතිලාභ අවශ්‍ය කරන ජනකොටස් වෙත ලැබේද යන්න සැකසහිත බවය. එයට විසඳුමක් ලෙස ආධාරලාභියාගේ ගිණුමට ඍජුවම අදාළ ආධාර මුදල ලබාදීම සුදුසු යැයි මෑතකදී ජාත්‍යන්තර සහනාධාර සැපයුම් ආයතන ගණනාවක් ශ්‍රී ලංකාවට යෝජනා කර තිබූ බව වාර්තා විය.
ඉදිරි මාස කිහිපය තුළ මෙරට බරපතළ ආහාර අර්බුදයක් හටගනු ඇති බවට ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා තිබේ. එසේම භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය (උද්ධමනය) ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ අගයකට නැග තිබෙන බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායම් නොමැතිකමද බලවත් ගැටලුවක් වී ඇත. පසුගිය සතියේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සංඛ්‍යා දත්ත අනුව හතර දෙනකුගෙන් යුත් පවුලකට අවම ආහාරපාන සහ සෙසු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මසකට රුපියල් 52,000ක මුදලක් අවශ්‍ය වන බව වාර්තා කර තිබුණි. දිළිඳු ජනතාවට මෙය පහසු ඉලක්කයක් නොවේ.
මෙම පසුබිමේ ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනය මගින් දිළිඳු ජනතාවට ලබාදෙන සමෘද්ධි ආධාරය ඉහළ නැංවීය. ඒ සඳහා සුදුස්සන් තෝරාගැනීම මෑතකදී ස්ථාපිත කරන ලද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් සිදු කිරීමට නියමිතය. සමෘද්ධි ආධාර ලැබීමට සුදුසුකම් ලබන අයට අමතරව ආබාධිත සහ විවිධ රෝගාබාධවලට ලක්වූවන්ද ප්‍රතිලාභ ලැබීමට සුදුස්සන් බව රජය ප්‍රකාශ කර තිබේ.
සමෘද්ධි ප්‍රතිලාභ ඉහළ නැංවීම අනුව ඉදිරි සමෘද්ධි දීමනා සඳහා රුපියල් මිලියන 55,000ක්ද, වැඩිහිටි මුල්‍යාධාර සඳහා රුපියල් මිලියන 13,583ක්ද, අඩු ආදායම්ලාභීන්ගේ සෙසු සහන සඳහා රුපියල් මිලියන 4860ක්ද, වකුගඩු රෝගීන් සඳහා රුපියල් මිලියන 2642ක්ද වශයෙන් රුපියල් මිලියන 76,085ක් හෙවත් රුපියල් කෝටි 7600ක් වෙන්කර තිබේ.
අතුරු අයවැය මගින් මාසික සමෘද්ධිය ඇතුළු සෙසු දීමනා ද රුපියල් 5000 සිට රු. 7500 දක්වා ඉහළ දැමීය. මෙයින් ප්‍රතිලාභ ලබන සමෘද්ධිලාභී පවුල් ගණන ලක්ෂ 17කි. එසේම සමෘද්ධිය ලබාගැනීමට පොරොත්තු ලේඛනවල සිටින පවුල් ගණන 7,26,000ක් පමණය. ඔවුන්ටද තාවකාලික දීමනාවක් ලෙස සමෘද්ධිය හිමිවන තෙක් මසකට රු. 5,000ක් ගෙවීමට රජය තීරණය කළේය.
මේ ආකාරයට රටේ දිළිඳුම ජනකොටස්වලට සුබසාධක සහනාධාර පිරිනැමීමට රජය තීන්දු කළ ද ඊට සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රමවේදය ගැන අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන මැසිවිලි හා පැමිණිලි ගණන විශාලය. ගමේ ග්‍රාම නිලධාරී මහතා ප්‍රමුඛව සමෘද්ධි නිලධාරී, සමාජ සේවා නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී යන අයගේ සහතික කිරීම හා නිර්දේශ මත අදාළ ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුවෙතත් සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් ද ප්‍රතිලාභ ලැබීම සඳහා තෝරාගන්නා බවට වන චෝදනා විරල නොවේ. මෙකී නිලධාරීන් බොහොමයක් ඒ ගම්වලම වෙසෙන්නන් වන නිසා ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් හෝ පෞද්ගලික කෝන්තර පිරිමැසීම නිසා ඇතැමුන්ට ප්‍රතිලාභ හිමි නොවන වගට ද චෝදනා නැගෙයි.
සැබැවින්ම මෙබඳු දේ සිදුවන්නේ නම් එය බරපතළ සමාජ අසාධාරණයකි. ඒ නිසා අදාළ බලධරයන් ප්‍රතිලාභීන් තෝරාගත යුත්තේ විනිවිදභාවයෙන් යුතුව යුක්ති සහගත ආකාරයෙනි. කුසගින්න සහ මන්දපෝෂණය ආදිය ව්‍යාධියක් වන තරමට සමාජය පීඩාවට පත් කරද්දී රජය දුප්පතාට දෙන සහනාධාරය ද ඔවුන්ට අහිමි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැත. මෙවැනි අසාධාරණකම් දේශපාලන හෝ නිල බලයෙන් තාවකාලිකව යටපත් කළ හැකි වුවද කිසියම් මොහොතක මෙකී අසාධාරණය සමාජ අසහනයක් ලෙස පුපුරා ගියහොත් එය කෙළවර වන්නේ ඛේදවාචකයකින් බව සඳහන් කරනු වටී.
(***)