හලාල් සහතිකය ගන්නා ව්‍යාපාරිකයන්ගෙන් සියයට 80 ක් මුස්ලිම් නෙමෙයි


 

තරිඳු ජයවර්ධන

පසුගිය කාලයේ හලාල් සහතිකය ගැන ලොකු කතාබහක් ඇතිවිය. හලාල් සහතිකය නිකුත් කිරීමට අය කරන මුදලින් සහරාන්ලාට කොටසක් ගිය බව සමාජ්‍ය මාධ්‍යවල සහරු කීහ. හලාල් සහතිකය නිකුත් කරන්නේ උලමාවරුන්ගේ සංවිධානයේ කීමට බව තවත් සමහරු කීහ. ලංකාව මුස්ලිම් බහුතරයක් වෙසෙන රටික්  නොවුණ නිසා හලාල් සහතිකයක් අවශ්‍ය වන්නේ ඇයිදැයි ඇතැමෙක් ප්‍රශ්න කළේය.

මේ සියලු චෝදනා පිළිබඳ ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන ආයතනය වන එච්ඒසී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අලි ෆතාරලි මහතාගෙන් විමසීමක් කළෙමු.

 

ප්‍රශ්නය - හලාල් කියන්නේ මොකක්ද?

පිළිතුර - හලාල් කියන අරාබි වචනයේ අදහස තමයි ඉස්ලාම් ධර්මය අනුව අනුමැතිය ලද කියන අර්ථය. හරාම් අනුමැතිය නැති කියන අදහසයි.

ප්‍රශ්නය - ලංකාවේ මේ සහතිකය දෙන්න ගත්තේ මොන අවුරුද්දේ සිටද?

පිළිතුර - 2013 වසරේ සිට

ප්‍රශ්නය - ඉතින් ඊට කලින් ලංකාවේ හලාල් සහතික නැතිව මුස්ලිම් ජනතාව කෑම කෑවානේ?

පිළිතුර - තමන් ගන්නා ආහාරය ගැන ඔවුන්ගේ දැනුම සහ විශ්වාසය මත තීරණය කරන්න පුළුවන් කනවද නැද්ද කියලා. එම තීරණයට එළඹෙන්න හලාල් සහතිකය තිබීමෙන් වඩාත් පහසු වෙනවා.

ප්‍රශ්නය - ආහාර හලාල් සහ හරාම් වෙන්නේ කොහොමද?

පිළිතුර - ඛාණ්ඩ අටක් යටතේ හැර අනිත් ඕනෑම දෙයක් හලාල්. ඌරන් සහ එමගින් නිෂ්පාදනය කරන නිෂ්පාදන, මධ්‍යසාරපාන සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, කලින් මැරුණු සතුන් සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, රුධිරය සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, මිනිස් අවයව සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, උරගයන්, කෘමීන් සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, විෂ සහිත සහ මිනිසාට හානි කරන ද්‍රව්‍යයන්, මාංශභක්ෂක සිව්පාවන් සහ මාංශ භක්ෂක පක්ෂීන් තමයි කෑමට නුසුදුසු හරාම් දේවල්.  නිෂ්පාදනයේ දී මේ දේවල් යොදා ගන්නවද නැද්ද කියලා බලලයි හලාල් සහතිකය දෙන්නේ.

ප්‍රශ්නය - ලංකාවේ බහුතරයක් ඉන්නේ මුස්ලිම් නොවන ප්‍රජාවක්. මුස්ලිම් නොවන ප්‍රජාවකට හලාල් දේවල් කවන්න අවශ්‍ය නෑ කියා චෝදනාවක් තිබෙනවා?

පිළිතුර - මුස්ලිම් නොවන පාරිභෝගිකයන්ට හලාල් අදාළ වෙන්නේ නෑ. හලාල් ආහාර සුරක්ෂිතතාවයි, පිරිසිදු බවයි මත පදනම්වෙලා නිෂ්පාදනය කරන නිසා එය පරිහරණය කිරීම ඕනෑම කෙනකුට සෞඛ්‍යට හිතකරයි. වෙනත් ජාතිකයෙක් හලාල් ආහාර ගත්තා කියලා කිසිම හානියක් වෙන්නේ නෑ. කැමති නම් හලාල් ආහාර ගන්න පුළුවන්. නැතිනම් නොගෙන ඉන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබේ ආයතනයට හලාල් සහතිකය නිකුත් කරන්න තිබෙන සුදුසුකම මොකක්ද?

පිළිතුර - අපි සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපු ආයතනයක්. ලෝක හලාල් ආහාර කවුන්සිලය ඇතුළු ආයතනවල පිළිගැනීම අපට තිබෙනවා. ඒ නිසා අපේ ආයතනයට අන්තර් ජාතික පිළිගැනීම් තිබෙනවා. අපේ ආයතනයේ ඒ සඳහා විශේඥයන් ඉන්නවා.

ප්‍රශ්නය - ලංකාවේ නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන සහතික දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්.  එම ආයතනයෙන් ප්‍රමිති සහතිකයක් දෙද්දී ඇයි ඔබ ආයතනයෙන් හලාල් සහතිකයක්?

පිළිතුර - එම සහතිකය දෙද්දී අපි කලින් කිව්වා කාරණා 8 බලන්නේ නෑ. ඒ සඳහා ඔවුන්ට පහසුකම් නෑ. ඒ නිසා තමයි අපි ඒක බලලා හලාල් සහතිකය ලබා දෙන්නේ.

ප්‍රශ්නය - හලාල් සහතික ලබා ගන්නා ආයතන පරීක්ෂාවට ලක් කරන්න ඔබ ආයතනයට පහසුකම් තිබෙනවද?

පිළිතුර - ඔව්. අපිට පහසුකම් තිබෙනවා. ඒ සඳහා විශේෂඥයනුත් ඉන්නවා.

ප්‍රශ්නය - ඔබේ ආයතනයෙන් මුස්ලිම් නොවන ව්‍යාපාරිකයනුත් හලාල් සහතිකය අරගෙන තිබෙනවද?

පිළිතුර - ඔව්. අපේ හලාල් සහතිකය අරගත්තු 80% කටත් වැඩි නිෂ්පාදකයන් මුස්ලිම් නොවෙයි.

ප්‍රශ්නය - මුස්ලිම් නොවන අය ඇයි ඔබෙන් හලාල් සහතිකය ගන්නේ?

පිළිතුර - හලාල් සහතිකය කියන්නේ ව්‍යාපාරික සහතිකයක්. හලාල් සහතිකය තිබුණොත් අන්තර් ජාතික පිළිගැනීමක් තියෙනවා. ව්‍යාපාරිකරයන් තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න, තමන්ගේ අලෙවිය වැඩිකර ගන්න හලාල් සහතිකය ලබා ගන්නවා. මුස්ලිම් නොවන ව්‍යාපාරිකයන් රැසක් ලංකාවේ නිෂ්පාදන අපනයනය කරනවා. හලාල් සහතිකය තිබෙනවා කියන්නේ ඔවුන්ට ආදායම් ලබන්න පහසුයි. හලාල්වලට විරෝධය දක්වන පිරිස් මේ බව දන්නේ නෑ. දේශීය නිෂ්පාදකයන්ට තමන්ගේ භාණ්ඩ වැඩි වශයෙන් අපනයනය කරන්න නම්, විදේශීය වෙළඳපොළට පිවිසෙන්න අවශ්‍ය නම් හලාල් සහතික ලබා ගැනීම වැදගත්.

ප්‍රශ්නය - ලංකාවෙන් අපනයනය කරන ආහාර ද්‍රව්‍ය සියල්ලටම ඔබ ආයතනයෙන් හලාල් සහතිකය අරගෙන තිබෙනවද?

පිළිතුර - 65% කට වැඩි නිෂ්පාදන සංඛ්‍යාවකට හලාල් සහතිකය අරගෙන තිබෙනවා.

ප්‍රශ්නය - ලෝකයේ මුස්ලිම් නොවන  වෙනත් රටවල්වලත් හලාල් සහතිකය තිබෙනවද?

පිළිතුර - හලාල් සහතිකය තිබෙන මුස්ලිම් නොවන රටවල් 52ක් සමඟ අපි ගනුදෙනු කරනවා. තායිලන්තය, ජපානය, කොරියාව, සිංගප්පූරුව, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටවලත් හලාල් සහතිකය තිබෙනවා.

ප්‍රශ්නය - හලාල් සහතිකය ලබා දෙන්න අරගන්න මුදලින් සහරාන්ලට සල්ලි ගියා කියලත් පසුගිය කාලේ චෝදනා එල්ල වුණා. සමාජ මාධ්‍යවල පළවුණා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලයටත් සල්ලි දුන්නා කියලා?

පිළිතුර - අපි කිසිම ආයතනයකට කිසිම දෙයක් දීලා නෑ. අපේ අධ්‍යක්ෂ මණ්ඩලය වැටුප් ගන්නේ නෑ. මේකේ වැඩ කරන සේවකයන් වැටුප් ගන්නවා. සහරාන්ලා විතරක් නෙමෙයි කිසිම සංවිධානයකට අපි මුදල් දීලා නෑ. අපේ ගිණුම් ප්‍රසිද්ධ විගණන සමාගමක් ලවා විගණනය කරවනවා. ඒ වාර්තා අවශ්‍ය කෙනකුට බලාගන්න පුළුවන්. අපි වැඩ කරන්නේ විනිවිභාවයෙන්.

ප්‍රශ්නය - හලාල් සහතික දෙන්නේ සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ කීමට කියලත් චෝදනාවක් තිබෙනවා.

පිළිතුර - නෑ. ඒ සංවිධානය හා මේ ආයතනය අතර කිසිම සම්බන්ධයක් නෑ.

ප්‍රශ්නය - හලාල් සහතිකය දෙන්න කොපමණ මුදල් අය කරනවද?

පිළිතුර - වාර්ෂිකව රුපියල් 60,000 සිට 250,000 දක්වා මුදලක් අය කරනවා.

ප්‍රශ්නය - මේ සල්ලිවලින් කිසිම ආයතනයකට අනුග්‍රහය දැක්වුවේ නැත්නම් එකතුවෙන සල්ලිවලට මොකද වෙන්නේ?

පිළිතුර - පළපුරුදු ආහාර විද්‍යාවේදීන් ඇතුළුව මේ ආයතනයේ ස්ථිර සේවකයින් 40ක් ඉන්නවා. අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අයිඑස්ඕ 9001 සහතිකය සහ ප්‍රශ්යේ බියුරෝ වෙරිටාස් ආයතනයේ අයිඑස් ඕ 27001 සහතිකය ලබාගෙන තිබෙනවා. ඒ වගේම ලෝක හලාල් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. අපේ ආදායම් අපි ඉහත දේවල්වලට යොදවනවා. අපි කාටවත් අරමුදල් දෙන්නේ නෑ.

ප්‍රශ්නය - ඇතිවී තිබෙන හලාල් විරෝධයත් එක්ක ඔබේ ආයතනයෙන් සහතික ලබා ගැනීම සිංහල ව්‍යාපාරිකයන් නවත්වලා තිබෙනවද?

පිළිතුර - නිෂ්පාදකයන් දෙදෙනක් පමණක් අරගත්තේ නෑ. ඔවුනුත් පසුව ගනියි කියලා අපි හිතනවා. මොකද එහෙම නොගත්තොත් ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ වෙළඳාම අඩුවෙලා ආදායම් අඩුවේවි.