හැම දේශපාලන පක්ෂයකම අයිතියට ගරු කළ යුත්තේ ඇයි?


නාවලපිටිය නගරය පසුගිය ඉරිදා (16) දිනයේ ජන විරෝධතාවක් හේතුවෙන් ගිනියම් විය. එම විරෝධතා සහ නගරයේ උණුසුම් තත්ත්වයක් හටගත්තේ එහිදී පැවැත්වුණු රැස්වීමක් සහ එම රැස්වීමට එරෙහිව විරෝධය දක්වමින් කලබලකාරී ලෙස හැසිරුණු තවත් පිරිසක් හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් නගරයේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පමණක් නොව යුද හමුදා භට පිරිස් ද කැඳවීමට සිදුව තිබිණි.

අදාළ රැස්වීම සංවිධානය කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු වන මහින්දානන්ද අලු‍ත්ගමගේ හිටපු අමාත්‍යවරයා විසිනි.

එම රැස්වීම පැවැත්වෙන බවත් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් එහිදී පාක්ෂිකයන් අමතනු ඇති බවත් කල් තබාම ප්‍රකාශයට පත්කර තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතිව රට පාලනය කරන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයයි. එම පක්ෂයට මේ රටේ ඕනෑම නගරයක හෝ ගමක හෝ මහජන හමුවක් පැවැත්වීමට තිබෙන අයිතිය කිසිවකුටත් පැහැර ගැනීමට බලයක් නැත. රටේ හිටපු ජනාධිපතිවරයකු වශයෙන් පාක්ෂිකයන් ඇතුළු මහජනතාව හමුවී තම අදහස් දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතාටත් එම පක්ෂයේ සෙසු සියලු‍ ජ්‍යෙෂ්ඨ නායකයන්ටත් නගරයකට යාමට තිබෙන අයිතියට හරස් කැපීමට මේ වනවිට රටේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් ක්‍රියා කරන සමගි ජන බලවේගයට යුතුකමක් නැත. රැස්වීම් පැවැත්වීමේ අයිතිය මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට සින්නක්කරව ලියා දී නැත. සමගි ජන බලවේගයට තම පාක්ෂිකයන් සහ ජනතාව හමුවී රැස්වීම් පැවැත්වීමට තිබෙන අයිතියම ආණ්ඩු පක්ෂයට ද තිබෙන බව පිළිගත යුතුය.

එපමණක් නොව උතුරේ ඕනෑම පක්ෂයකට නාවලපිටිය, මාතර නැත්නම් රටේ කොයි තැනක වුවද රැස්වීම් පැවැත්වීමේ අයිතිය කිසිවකුට නැති කළ නොහැක.

නාවලපිටියේදී අනවශ්‍ය කලබලකාරී තත්ත්වයක් ඇතිවීමට සජබ වගකීමෙන් තොර හැසිරීම හේතු වී ඇති බව බැලූ බැල්මට පෙනී යයි. ආණ්ඩුවට එරෙහි විරෝධතා දැක්වීමටත් මහජනතාව හමුවේ අදහස් දැක්වීමටත් පමණක් නොව උද්ඝෝෂණ සහ පෙළපාළි පැවැත්වීමටත් විපක්ෂය වශයෙන් සජබට අයිතියක් තිබෙන බව සත්‍යයකි. එහෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම පාර්ශ්වකරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීමක් සංවිධානය කර තිබූ දිනයේදීම එම නගරයේදීම විරෝධතාවක් සංවිධානය කිරීමෙන් පෙනීයන්නේ ඔවුන් කිසියම් ගැටුමක් ඇතිකර ගැනීමට චේතනාන්විතවම ක්‍රියාකර ඇති බවය.

රටේ ජනතාව මුහුණ දී සිටින ගැටලු‍ කොතරම් බරපතළ වුවත් ඒ සඳහා දක්වන විරෝධය වෙනත් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීත්වයට බාධාවක් විය යුතු නැත. මීළඟට ආණ්ඩුව පිහිටුවීමට ඇති තම අභිලාෂය සැමවිටම උළුප්පා දක්වන සජබ නායකයන් රටේ ජනතාවට මෙවැනි ක්‍රියා හරහා ලබාදෙන පූර්වාදර්ශය කුමක්දැයි පැහැදිලි නැති බවද පෙන්වා දිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක වන බවට ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන සජබ තමන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරීමෙන් රටට නරක පූර්වාදර්ශයක් සපයා ඇති බව පෙනෙන්නට තිබේ.

අද රටේ පොදු මහජනතාව අනන්ත දුක් විඳින බව නොරහසකි. දැනට වසරකට පෙර වනතුරු ශ්‍රී ලාංකිකයන් ගෙවූ ජීවිතයත් අද ගෙවන ජීවිතයත් සංසන්දනය කිරීම පමණක් ඒ වෙනස දැනගැනීම සඳහා ප්‍රමාණවත්ය. ජනතාව එම දුක් පීඩාවලට ඇදදැමීමට හේතු වූ තීන්දු තීරණ ගත් දේශපාලන නායකයන් ඒ සඳහා වගකිව යුතු බවද මෙහිදී පෙන්වා දිය යුතුය. එහෙත් එවැනි තීරණ ගැනීමට තමන් පෙළඹ වූ හේතු කුමක්දැයි පහදා දීමට හැම දේශපාලන නායකයකුටම අවශ්‍යතාවක් තිබිය හැක.

එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ඔවුන්ගේ අදහස් ජනතාව පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඡන්දදායකයා විසිනි. මීළඟට පැවැත්වෙන පළමු මැතිවරණයේදී ජනතාව රටේ තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇත. එතෙක් නොසිට ඉවසීමේ සීමා කඩාගෙන දේශපාලන චණ්ඩිකම් ප්‍රදර්ශනය කිරීම ද ඡන්ද දායකයාගේ නිරීක්ෂණයට හසුවන බව විපක්ෂය දැන සිටීම අවශ්‍යය.

රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අවංකවම හඬක් නැගීමට විපක්ෂයට ඕනෑ නම් එම හඬ නැගීමට ආණ්ඩුවේ පක්ෂයක් රැස්වීම පවත්වන නගරයේම එය සිදුකිරීම අවශ්‍ය නැත. ඒ සඳහා එදිනම යොදා ගැනීමේ අවශ්‍යතාවක් ද නැත. එහෙම සංවිධානය වීමේ අවශ්‍යතාව කලබලයක් ඇතිකර එයින් දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා බවට කෙනකුට චෝදනා එල්ල කිරීමට ද හැකියාව තිබේ. එවැනි චෝදනාවලට ලක්වීමෙන් වැළකිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ නායකයන් ද සිහිපත් කරගත යුතුය.

(***)