මූල්‍ය අරමුදලට පමණක් ලංකාව ගොඩගත නොහැකිය. ඔවුන්ට කළ හැක්කේ යම් රටකට ඩොලර් නැති වූ විටෙක ඒ සඳහා යම් සහයෝගයක් ලබාදීම පමණකි. අප වැටී සිටින වළෙන් ගොඩ ඒමට කටයුතු කළ යුත්තේ අපමය. ඒ සඳහා අප අපේ ආර්ථිකයේ වෙනස්කම් රැසක් කළ යුතුය.
මූල්‍ය අරමුදල කරන්නේ පෙරලුනු නැව කෙළින් කරදීම පමණකි. ආර්ථිකය ස්ථාවර කරගැනීම සඳහා ඔවුන් සමග එකඟ වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔවුහු අපට යම් ඩොලර් ප්‍රමාණයක් දෙති. මූල්‍ය අරමුදලෙන් නැව කෙළින් කර දුන් පසු එය නිවැරැදි දිසාවකට ගමන් කරවීම අපේ වගකීමකි. එසේ නොවුණොත් කෑම බීම පවා නැතිව මුහුද මැද මිය යාමට සිදුවෙයි.
මූල්‍ය අරමුදලට ගිය 16 වතාවෙම ලංකාව කර තිබෙන්නේ නැව කෙළින් කරගත් පසු එය නිවැරැදි දිසාවකට යාත්‍රා කරවන්නේ නැතිව මුහුද මැද සාජ්ජ පැවැත්වීමය. එසේ කළ විට නැව නැවත පෙරළෙයි.
දැන් සිදුවී තිබෙන්නේ ද එයයි. නැව පෙරළෙන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් එය කෙළින් කරගෙන මුහුද මැද පාටි දැමීම ලංකාවේ ආණ්ඩු කළ අයගේ ස්වාභාවයයි. ආර්ථිකය නමැති නැව නිවැරැදි දිසාවකට ගමන් කරවීමට නම් කළ යුතු අනිවාර්ය ප්‍රතිසංස්කරණ වහාම කළ යුතුය. එසේ කළහොත් පමණක් ඉදිරියට යාමට හැකිවෙයි. ඒ ප්‍රතිසංස්කරණ නොකළොත් නැව නැවතත් මුහුද මැදම පෙරළෙනු නිසැකය. ඒ නිසා අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට පැවරෙන වගකීම සුවිශාලය.
මූල්‍ය අරමුදලෙන් දැනට එකඟ වී සිටින්නේ ඩොලර් බිලියන 2.9 ක් දීමටය. ඒ මුදල ලැබෙන්නෙත් කොටස් වශයෙන් අවුරුදු හතරකදීය. ඒ අනුව අවුරුද්දකට ලැබෙන්නේ ඩොලර් මිලියන 725 කි. ඒ මුදලෙන් අපට හැරෙන්නවත් නොහැකිය. ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් ගෙන්වීමට පමණක් මාසයකට රුපියල් මිලියන 300ක් වැයවෙයි. ඒ නිසා මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහායෙන් අපට ගොඩයාමට හැකිවෙතැයි සිතීම සම්පූර්ණයෙන්ම මුළාවකි. එහෙත් මූල්‍ය අරමුදල උදව් කළ පසු අපට අනෙක් අයගෙන් උදව් ගත හැකිය. ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් සහ වෙනත් රටවලින් සේම ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීමට මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහයෝගය මහෝපකාරී වෙයි.
එහෙත් ලංකාවට තිබෙන ප්‍රශ්නය ණය ගැනීම නොව ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වීමය. අප ගොඩනගා ගත යුත්තේ ණය ගෙවීමේ හැකියාවය. ඒ හැකියාව ලැබෙන්නේ ගන්නා ණය ආදායමක් ලැබෙන මාර්ගවල යෙදවීමෙනි. ඒ නිසා නිවැරැදි සහ ඉලක්ක සහගත දිසාවකට නැව යාත්‍රා කරවීම ප්‍රතිපත්ති සම්පාදකයන්ට අත්හළ නොහැකි වගකීමකි. ඔවුන් තම වගකීම දැන්වත් ඉටු නොකළොත් මූල්‍ය අරමුදලෙන් දෙන මේ ණයත් ගෙවා ගැනීමට නොහැකි වෙයි. ඒ නිසා ආර්ථිකයේ විය යුතු ප්‍රතිසංස්කරණ වහ වහාම කළ යුතුය. විය යුතු ප්‍රතිසංස්කරණ රැසකි.
කළ යුතු පළමුවැනි ප්‍රතිසංස්කරණය රජයට අයිති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමය. එදා මෙදා තුර පැවැති හැම රජයක්ම ගත් ණය යෙදෙව්වේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීම සඳහාය. එය කිසිසේත් නොකළ යුත්තකි.
රජයට අයිති ව්‍යාපාර සංඛ්‍යාව 500කට අධිකය. ඒ අතර ලාබ ලබන ව්‍යාපාර ද තිබේ. එහෙත් ඒ අතළොස්සකි. වැඩි වශයෙන් තිබෙන්නේ විශාල ලෙස පාඩු ලබන ව්‍යාපාර ය. පාඩු ලැබුවත් ලාබ ලැබුවත් රජය ව්‍යාපාර නොකළ යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. රජය ව්‍යාපාර කිරීම දොඩම් ගොඩ බදාගැනීමකි.
රජය ව්‍යාපාර කරමින් අනෙක් පැත්තෙන් නියාමනයක් කරයි. ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ක්‍රීඩකයෝ විනිසුරුවන් ලෙස කටයුතු නොකරති. ක්‍රීඩකයන් ක්‍රීඩා කරද්දී විනිසුරුවෝ තම රාජකාරිය කරති. ඔවුන් එකිනෙකාගේ කාර්යභාරය වෙනස්ය. ඒ දෙපිරිසම ක්‍රිකට් ගහන්න ගියොත් ක්‍රීඩාව කරගැනීමට නොහැකි වෙයි. ඒ නිසා රජය තම කාර්යභාරය නිවැරැදිව හඳුනාගත යුතුය. ලංකාවේ ආණ්ඩු කරන්නේ කළ යුතු දේ නොව නොකළ යුතු දේවල්ය. ආණ්ඩු සේම රජයත් තමන්ට පැවරී තිබෙන කාර්යභාරය ඉටු නොකරයි.
රජයට පැවරී තිබෙන ප්‍රමුඛ කාර්යභාරය නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීමය. දුප්පතුන් රැක බලාගැනීම රජයේ තවත් වගකීමකි. ජාත්‍යන්තර සබඳතා මැනවින් කළමනාකරණය කරමින් රටට අවශ්‍ය සහාය ලබාගැනීම ද රජයේ කාර්යභාරයකි. ව්‍යාපාර කිරීමට සුව පහසු පරිසරයක් සැකසීමද රජයේ වගකීමකි. ලංකාවේ පැවැති හැම රජයක්ම ඒ කිසිවක් නොකර ව්‍යාපාර කරයි. ඒ ව්‍යාපාර සාර්ථක නම් කමකුත් නැත. සිදුවී තිබෙන්නේ ඒ ව්‍යාපාර මහා පරිමාණයෙන් පාඩු ලැබීමය. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට ක්‍රමෝපායික වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යාපාර 52කින් මාස හතරකදී සිදුවී තිබෙන පාඩුව රුපියල් බිලියන 800කට අධිකය.
සමෘද්ධි සහනාධාරය සඳහා අවුරුද්දකටම වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 50කි. රජය ව්‍යාපාර කිරීම නිසා රටට සිදුවී තිබෙන වින්නැහිය එබඳුය. රටේ ජනතාව ගෙවන බදු සල්ලිත් දෙස් විදෙස්වලින් ගන්නා ණයත් පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට යොදවයි. ඒ නිසා දුප්පතුන් රැකගැනීමේ වගකීම ඉටුකිරීමට හා සමාජ සේවා කටයුතු නිසි ලෙස කරගැනීමට රජයට නොහැකිව තිබේ. එබැවින් විය යුතු පළමුවැනි ප්‍රතිසංස්කරණය රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමය.
කළ යුතු දෙවැනි ප්‍රතිසංස්කරණය මහ බැංකුව ස්වාධීන කිරීමය. අප කාගේත් අතේ තියෙන්නේ මහ බැංකුවෙන් නිකුත් කරන සල්ලිය. මහ බැංකුවට හිතෙන හිතෙන හැටියට ඒ සල්ලිවල වටිනාකම අඩු වැඩි කරනවා නම් අප මුහුණ දෙන්නේ විශාල අභියෝගයකටය. ඒ නිසා මුදලේ වටිනාකම රැක ගැනීමට හැකිවන අයුරින් මහ බැංකුව ස්වාධීන කළ යුතුය. මහ බැංකුවට හිතෙන හිතෙන හැටියට සල්ලි අච්චු ගැසීමට නොහැකි වන අයුරින් සහ මහ බැංකුවට දේශපාලනයමය වශයෙන් බලපෑම් කිරීමට නොහැකි වන අයුරින් එය ස්වාධීන කළ යුතුය.
රජයේ ආදායම වර්ධනය කරගැනීමට අවශ්‍ය ප්‍රතිසංවිධාන කිරීම තවත් අත්‍යවශ්‍යතාවකි. අපේ බදු සංකීර්ණය. තිබිය යුත්තේ සරල හා විනිවිදභාවයෙන් යුතු බදු ක්‍රමයකි. බදු ප්‍රතිශත එකිනෙකට වෙනස්ය. එසේම එකිනෙකාට එකිනෙක බදු ය. එහෙයින් බදු ගෙවීමට බොහෝ දෙනා අකැමැතිය. ඒ නිසා සරල හා විනිවිදභාවයකින් යුතු බදු දැනට වඩා වැඩි කළ යුතුය.
අනෙක් කාරණය අපේ ආර්ථිකය තරගකාරී නැත. ඒ නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුය. මිලෙන් අඩු විය යුතුය. ගුණාත්මකභාවයෙන් වැඩි විය යුතුය. වෙනත් රටවල නිෂ්පාදන සමග සසඳන විට අපේ භාණ්ඩවල වෙනසක් තිබිය යුතුය. නැතිනම් විකුණාගත නොහැකිය. තේ නිෂ්පාදනය ගත්තොත් ඉන්දියාව, කෙන්යාව හා චීනය ද තේ නිෂ්පාදනය කරයි.
තේ අක්කරයකින් අපේ රටේ ලබාගන්නා ඵලදාවට වඩා ඉහළ අස්වැන්නක් කෙන්යාව ලබා ගනියි. අපට පස්සේ තේ වගාවට පිවිසි කෙන්යාවට ඒ හැකියාව ලැබුණේ කෙසේදැයි අප සොයා නොබලයි. ආර්ථිකය තරගකාරී වීමට නම් තරග කළ හැකි පරිසරයක් සැකසිය යුතුය.
එහෙත් දැනට තිබෙන්නේ තරග කළ හැකි පරිසරයක් නොවේ. හැම තැනකම රජය අරක් ගෙන සිටියි. රටේ පවතින්නේ රජය මගින් බලාගන්නා සුබසාධන ආර්ථිකයකි. ඒ නිසා අපට ඉදිරියට යා නොහැකිය. තරගකාරීත්වය ඇතිවන අයුරින් ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රතිසංවිධානය කළ යුත්තේ එහෙයිනි.
රජයට අයිති ව්‍යාපාර සේම රාජ්‍ය සේවයත් ප්‍රතිසංවිධානය කළ යුතුය. ලංකාවේ රජයේ සේවකයන් පිරිස ලක්ෂ 15ක් පමණ වෙයි. ඒ නිසා ඔවුනටත් අසාධාරණකම් සිදු වෙයි. ඔවුනට වී තිබෙන අසාධාරණය ඔවුනගේ වැටුප භාගයකින් අඩු කිරීමය. එය කර තිබෙන්නේ උද්ධමනය ඉහළ නැංවීම මගිනි.
උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව වැටුප ලෙස අතට ලැබෙන මුදලේ වටිනාකම ද අවප්‍රමාණය වෙයි. විශ්‍රාම වැටුප් ලබන අයද ඒ ඉරණමට ගොදුරු වී සිටිති. විශ්‍රාම වැටුපෙන් මාසයකට අවශ්‍ය බෙහෙත් මිලදී ගත් අයට දැන් ලබාගත හැක්කේ සති දෙකකට ප්‍රමාණවත් බෙහෙත්ය.
ඒ නිසා රාජ්‍ය සේවය ද ප්‍රතිසංවිධානය කළ යුතුමය. මේ තරම් විශාල පිරිසක් නඩත්තු කිරීම රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙයි.
දැනට රජයේ ආදායම යාන්තම් ප්‍රමාණවත් වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට පමණකි. ඔවුනගේ වැටුප් ගෙවීමෙන් පමණක් රටක ආණ්ඩු කළ නොහැකිය. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, දෙස් විදෙස් ණය හා පොලිය ගෙවීමට යනාදී වශයෙන් රජය දැරිය යුතු වියදම් රැසකි. ඒ නිසා රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය නොකර ඉස්සරහට යාම ඉතා අපහසුය
ගෝලීය වෙළෙඳාම සමග සම්බන්ධ වී නොසිටීම අපට තිබෙන තවත් අවාසියකි. එසේ සම්බන්ධ නොවී අපට දිනන්නට නොහැකිය. ඩොලර් නැති වෙන්නේම ලෝකය සමග සම්බන්ධ නොවීමේ ප්‍රතිඵලයක් ලෙසය.
ලෝකයට සම්බන්ධ වෙනවාය කියන්නේ ලෝක මට්ටමින් වෙළෙඳපොළේ තරග කිරීමය. අපට අවශ්‍ය දේවල් අපම නිපදවා ගමු කියන මානසිකත්වයෙන් කටයුතු කළාම අමාරුවේ වැටෙයි. කළ යුත්තේ අප පාවිච්චි නොකළත් ලෝකයේ වෙනත් රටවල ජනතාව පාවිච්චි කරන දේවල් නිපදවීමය. එසේ කළහොත් පමණක් ඩොලර් උපයා ගැනීමට හැකි වෙයි. ලංකාවේ ගුවන් යානා නිෂ්පාදනය නොකළාට ඒවාට අවශ්‍ය ටයර් නිෂ්පාදනය කරයි.
මාස් හා බ්‍රැන්ඩික්ස් වැනි දේශීය සමාගම් නිපදවන කාන්තා යට ඇඳුම් ලංකාවේ කාන්තාවන්ට පාවිච්චි කළ හැකි යට ඇඳුම් නොවේ. ඒවා මිලෙන් අධිකය. ඒවා අපනයනය කරන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයට ය. අප එවැනි දේවල් නිෂ්පාදනය නොකළා නම් අපට දැනට ලැබෙන ඩොලර් ටිකත් නැති වෙයි.
ආනයන ආදේශන ප්‍රතිපත්තිය මත ආනයනය නොකර මෙරට නිපදවීම නිසා අපනයනය සඳහා තිබෙන සම්පත් දේශීය ප්‍රයෝජනය සඳහා වැය වෙයි. අපේ සම්පත් සීමිතය. ඒ සම්පත් ටිකත් දේශීය පරිභෝජනයට ගත් විට අපේ අපනයන වෙළෙඳාම කඩා වැටෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ වූයේ එයයි. එබැවින් අප කළ යුත්තේ අපේ රටට වඩා ඉතා විශාල ලෝක වෙළෙඳපොළට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීමය. ඩොලර් උපයාගත හැක්කේ එසේ කළහොත් පමණකි. ඒ නිසා ලෝක වෙළෙඳපොළ සමග හැකි තරම් පුළුල් ලෙස බද්ධ විය යුතුය. ගෝලීය වෙළෙඳාමට දැනට වඩා වැඩියෙන් සම්බන්ධ විය යුතුය.
නීති රීති හා රෙගුලාසි ද කාලයේ තාලයට ගැළපෙන සහ ආයෝජන ප්‍රවර්ධනයට ඉවහල් වන ආකාරයෙන් වෙනස් කළ යුතුය. රේගු, සුරාබදු, කම්කරු හා ප්‍රාග්ධන ආයෝජන වැනි ක්ෂේත්‍රවලට අදාළව රටේ පවතින නීති රීති හා රෙගුලාසි යල්පැන ගොසිනි. ඒ ඇතැම් නීති රීති අවුරුදු 100ක් පැරැණි ලන්දේසි නීති ය. ඒවා 21 වැනි සියවසට නොගැළපෙයි. ඒ නීති මගින් ආයෝජන අධෛර්යවත් වෙයි. ආයෝජකයන් ආකර්ෂණය නොවෙයි.
ලංකාවේ බොහෝ දෙනා කොරියාව, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව වැනි රටවලට යන්නේ ඒ රටවල ඕන තරම් රැකියා තිබෙන නිසාය. ඒ රටවල එවැනි තත්ත්වයක් පවතින්නේ නීති රීති නම්‍යශීලි නිසාය. එහෙත් ලංකාවේ නීති රීති දලදඬු ය. රජයටවත් පෞද්ගලික අංශයටවත් අනවශ්‍ය සේවකයෙක් පහසුවෙන් ඉවත් කළ නොහැකිය. ඒ නිසා පෞද්ගලික අංශය තම රැකියා ලබා දීම සඳහා වැඩියෙන් අනුගමනය කරන්නේ ආවෘත බඳවා ගැනීමේ ප්‍රතිපත්තියකි. ආර්ථිකය තරගකාරී කිරීමට නීති රීති හා රෙගුලාසි වෙනස් කිරීමද අත්‍යවශ්‍ය කොන්දේසියකි.
ඉහත කී ඒ සියල්ල කිරීමට අවශ්‍ය වන්නේ සංයුක්ත සැලැස්මකි. මා ඉහත කී එක දෙයක් පමණක් කිරීමෙන් අප වැටී සිටින වළෙන් ගොඩ යා නොහැකිය. ක්‍රමෝපායික වශයෙන් ඒ සියල්ල මැනවින් ඉටු කෙරෙන සැලැස්මක් සේම යාන්ත්‍රණයක් ද අත්‍යවශ්‍යය. එහෙත් එවැනි සැලැස්මක් හෝ යාන්ත්‍රණයක් තිබෙන බවක් දැනටත් නොපෙනෙයි. එක එක අයගෙන් එක එක අදහස් කියවෙයි.
අදහස් ප්‍රකාශ කිරීමෙන් පමණක් සැලැස්මක් නොසැකසෙයි. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවෙයි. ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා දැනට වඩා නැඹුරුවක් තිබිය යුතුය. දැනටත් යන්නේ මන්දගාමී ගමනකි. ඇතැම් විට යන්නේ ඉතා සෙමෙනි. අප සහ රට වැටී තිබෙන අගාධයේ හැටියට යා යුත්තේ ශීඝ්‍රගාමී ගමනකි.
මා ඉහත කී ප්‍රතිසංස්කරණ කිරීමේ අවංක වුවමනාවක්, අභිලාෂයක් සහ අවශ්‍යතාවක් රජයට තිබෙන බවක් ද මට නොපෙනෙයි. මට පෙනෙන්නේ රජයට එවැනි අභිලාෂයක් හෝ අවශ්‍යතාවක් නොමැති බවය. ඇසෙන්නේ එවැනි උත්සාහයක් දරන බව සඳහන් කතා පමණකි. එහෙත් ඒ කතා කියන්නේ අවංක වුවමනාවකින් ද යන්න ගැන ඇත්තේ සැකයකි.
කියන දේවල් නොකෙරුණොත් අපටත් රටටත් ඉදිරියක් අනාගතයක් නැත. රජයේ කටයුතු ගැන අනාවැකි කීම හෝ පුරෝකතන කිරීම ඉතා භයානකය. රජය බොහෝ දේවල් කරන්නේ දේශපාලන වුවමනා එපාකම් මතය. එසේම ඒ ඒ පුද්ගලයන්ගේ දේශපාලන මතවාද අනුවය. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකළොත් රටට අනාගතයක් නොමැති බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. ප්‍රත්‍යක්ෂය කොතෙක් සත්‍ය වුවත් සියල්ල සිදුවන්නේ දේශපාලන අභිලාෂ සහ මතවාද මතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 16 වතාවක් ඇතිකර ගත් එකඟතා කඩ කළ මිනිසුන් ගැන අනාවැකි සහ පුරෝකතන කිරීම ඉතාම භයානකය. එසේම අවදානම් සහගතය. යළි යළිත් දේශපාලන සූදුවටම යොමු වුවහොත් රටත් ජනතාවත් තව තවත් වැනසෙන බව නම් නිසැකය.
ඇඩ්වොකාටා ආර්ථික පර් යේෂණායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධනනාත් ප්‍රනාන්දු
සාකච්ඡා සාටහන - ගුණසිංහ හේරත්