හොඳ නරක එකට එක්වූ අයවැයක්


(සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)

වර්ෂ 2024 වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයෙහි අන්තර්ගතය බොහෝ අංශවලින් 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනයට සමානය. මෙම අයවැයෙන් සමාජ ආරක්ෂණය, තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කිරීම, ආර්ථිකය ඩිජිටල්කරණය, නීල හරිත ආර්ථිකයක් ගොඩනැගීම සහ තරගකාරී ශ්‍රම බළකායක් ඇති කිරීම යනාදී අංශ කෙරෙහි ප්‍රමුඛාවධානයක් යොමු කර තිබේ. මේවා ගැන 2023 අයවැයෙන් ද අවධානය යොමු කර තිබිණි. මෙපරිදි අයවැය යෝජනාවල අඛණ්ඩතාවක් වාර්ෂිකව පැවතීම හා ඒ ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම යහපත් තත්ත්වයක් ලෙස මම දකිමි.

රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම සඳහා ද මෙයින් අවධානය යොමු කර ඇත. ඒ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව අරබයා නිකුත් කරනු ලැබූ ආණ්ඩුකරණයේ වාර්තාවෙන් මතු කර තිබූ ගැටලු නිරාකරණය කිරීමට අවධානය යොමු කර ඇත. එසේම එම වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. විශේෂයෙන් ම යල්පීනු නීති සංශෝධනය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අර්ථයෙන් ගත් විට පෙනී යන කාරණය වෙන්නේ ආර්ථිකයේ පවතින හැකියාවට සරිලන ආකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇති බවය. ඒ බව පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අයවැය කතාව ආරම්භයේ දී බුදුදහම උපුටා දක්වමින් එහි එන සමජීවිකතා යන සංකල්පය ද ගෙනහැර පෑවේය. ඒ අනුව, ආදායමේ හැටියට වියදම් කරන ස්වරූපයේ අයවැයක් වශයෙන් මෙය සකස් කිරීමට උත්සාහ ගෙන තිබේ.

මීළඟට අපට මෙවර අයවැයෙන් ඉදිරිපත් කළ ධනාත්මක හා ගැටලු සහිත යෝජනා ගැන අවධානය යොමු කළ හැකිය. රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට යෝජනා කර තිබේ. එය ජීවන වියදම් දීමනාව වැඩි කිරීමක් වශයෙන් ඉදිරිපත් කෙරිණි. සෑම රාජ්‍ය සේවකයකුට ම මෙම ජීවන වියදම් දීමනාව හිමි වේ.

ඒ අරබයා යම් මුදලක් වැය කරන්නට රජයට සිදු වුව ද මෙම තීරණය නිවැරදි එකක්ය යන්න මගේ අදහසයි. එපරිදි රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළේ නම්, උද්ඝෝෂණ වැඩවර්ජන ආදිය සිදු වී එමගින් යම් දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙන්නට ද ඉඩ තිබිණි. එවැනි තත්ත්වයක් ඇති වුව හොත් දැනට කරගෙන යන ආර්ථික වැඩපිළිවෙළ අඩාළ වීමට පිළිවන.

සමාජ ආරක්ෂණ ජාල යටතේ ඇස්වැසුම වැඩසටහනට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කර තිබේ. එයත් හොඳ තත්ත්වයකි. එසේම රාජ්‍ය බැංකු ස්ථාවර කිරීමට අවධානය යොමු කර තිබීම ද පැසසිය යුතුය. ඉඩම් අයිතිය හා නිවාස අයිතිය ලබා දීම වැනි යෝජනා ද සැලකිය හැක්කේ ධනාත්මක ඒවා හැටියටය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම ගැන ද මෙවර අයවැයේ සඳහන් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් කර ඇති සමීක්ෂණයකට අනුව ඒවායෙන් සියයට 20 ක ප්‍රමාණයක් කඩා වැටී ඇත. එවැනි පසුබිමක ඒ කර්මාන්ත ගොඩ නැගීම වෙනුවෙන් රුපියල් බිලියන 30 ක් වෙන් කර තිබීම ඵලදායකය.

සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව මෙතෙක් කල් පවත්වා ගෙන යනු ලැබූ ව්‍යාපෘති කාර්යාල අහෝසි කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ව්‍යාපෘති කාර්යාල මුදල් කාබාසිනියා කරන්නක් වන බැවින් ඒවා අවලංගු කිරීමට ගත් තීරණය යහපත්ය.

මෙම අයවැය ලේඛනය ඇතුළත හඳුනා ගත හැකි නිශේධනීය අංග කිහිපයක් ද ඇත. එකක් නම්, පොදු ප්‍රවාහනය දියුණු කිරීමට ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීමය. විදුලි බස් රථ ධාවනයට එක් කරන බවත් අලුතින් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බවත් කීව ද එය පවතින පොදු ප්‍රවාහන ගැටලුව විසඳීමට ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවන වියදමට විශාල ලෙස බලපා තිබෙන්නේ ප්‍රවාහන වියදම්ය. එම පසුබිමේ පොදු ප්‍රවාහනය දියුණු කළ යුතුව පැවතිය ද ඒ ගැන අයවැයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත.

කඳුකර ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට යටිතල පහසුකම් ලබා දෙන බව අයවැය කතාවේදී ප්‍රකාශ විය. තවදුරටත් ඒ ජනතාව එම ප්‍රදේශවල තබා ගනිමින් ඔවුන්ට විදුලිය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සේවා ලබා දෙනවා ද එසේත් නැත්නම් පොකුරු ගම්මාන සංකල්පය ඇතුළත ඔවුන් ඒ කඳුකර ජීවිතයෙන් එළියට ගන්නවා ද යන්න ගැන අපි කල්පනා කළ යුතු වෙමු. එවැනි සන්දර්භයක ඒ ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කිරීමට රජය කර ඇති යෝජනාව ගැටලුසහගතය.

වනගහනය වැඩි කරන්නට නම්, අප කළ යුත්තේ කඳුකර ප්‍රදේශවල ජනාවාස ඇති නොකිරීමය. එනම්, එම ප්‍රදේශවල මිනිසුන් පදිංචි කරවනවා වෙනුවට එයින් මිනිසුන් එළියට ගත යුතුය. ඒ සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය ගැටුමක් තිබෙන බව පෙනී යයි.

රාජ්‍ය බැංකු දෙකෙහි කොටස් සියයට 20 ක් පෞද්ගලික අංශය ට දෙන බව ද අයවැය කතාවේදී ප්‍රකාශ විය. ඒ අනුව, ජනතාවට, තැන්පතුකරුවන්ට සහ උපායමාර්ගික අයෝජකයන්ට එම බැංකුවල කොටස් මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම රාජ්‍ය බැංකු කොළඹින් බැහැර ග්‍රාමීය ප්‍රදේශවලදී විශාල සේවයක් සිදු කරයි.

අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ ද රාජ්‍ය බැංකු මගිනි. එනම්, අස්වැසුමෙහි ප්‍රතිලාභීන්ට හිමි මුදල් ගෙවනු ලබන්නේ මේ බැංකු විසිනි. දැනට රාජ්‍ය බැංකුවල කොටස් පෞද්ගලික අංශයට පවරන්නේ සියයට 20 ක් යැයි කීව ද ඉදිරියේ දී එය තවත් ප්‍රසාරණය විය හැකිය. අවසානයේ දී මේ රාජ්‍ය බැංකු ද්විත්වය සම්පූර්ණයෙන් ම පෞද්ගලීකරණය වීමට ද පිළිවන.

රාජ්‍ය බැංකු පිහිටුවා තිබෙන්නේ සංවර්ධන අරමුණු ඇතිවය. රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයට පෞද්ගලික අංශය ගෙන ඒමෙන් සිදු වෙන්නේ එකී සංවර්ධන අරමුණු යටපත් වී වාණිජ අරමුණු පෙරට පැමිණීමය. ආර්ථික අර්බුදය පවතිද්දී වුව බැංකු සීයට සියය ඉක්මවන ලාභ උපයා තිබේ. රාජ්‍ය බැංකු පෞද්ගලික ආයෝජකයන්ට විවෘත කරන්නේ නම්, බැංකුවල සංවර්ධන අරමුණුවලට හානියක් නොවන පරිදි කළ යුතු බව මගේ ස්ථාවරයයි.

යෝජනා ඉදිරිපත් කර තිබුණ ද ඒවා ක්‍රියාත්මක කිරීම අරබයා ප්‍රමාණවත් මුදල් වෙන් කර නොතිබීම තවත් ගැටලුවකි. පවතින තත්ත්වය හමුවේ එසේ වැඩි මුදලක් වෙන් කිරීමේ හැකියවක් ද නැත. අපි එය පිළිගත යුතු වෙමු. සුබසාධන වියදම්වලට ඉහළ අවධානයක් යොමු කර තිබෙන්නේ එය මගහැර ඉදිරියට යා නොහකි බැවිනි.

අයවැය මූල්‍යකරණය කිරීමට සිදු වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් දේශීය වශයෙන් ණය ගැනීමෙනි. විදේශීය මූලාශ්‍රවලින් යම් ණය ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනු ඇත. එසේ ලැබෙන විදේශ ණය ප්‍රමාණය අප දැනට කරගෙන යන විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කොතෙක්දුරට සාර්ථකව සිදු කරන්නේ ද යන්න මත තීරණය වේ. අයවැය කතාවේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගැන ද ජනාධිපතිවරයා සඳහන් කළේය. චීනය හා ජපානය වැනි රටවල් ඒ වෙනුවෙන් අපට ණය ලබා දීමට සූදානම් ද යන්න මත එය තීරණය වෙනු ඇත.

අපනයන අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙන බව ද ප්‍රකාශ විය. මෙම යෝජනාව 2023 අයවැයෙන් ද ඉදිරිපත් විණි. නිදහස් වෙළෙඳ ගිවිසුම්වලදී ඒවා සම්බන්ධයෙන් අප කරන සාකච්ඡා මත කවර භාණ්ඩ ද අපට වාසිසහගත ආකාරයට අපනයනය කළ හැක්කේ යන්න තීරණය වේ. ඉන්දියාව සමග එට්කා ගිවිසුම යටතේ ඉදිරියට යන ආකාරය ගැන ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සියල්ල හොඳ වුවත් දීර්ඝව කරන සාකච්ඡාවලින් අනතුරුව රටට වාසිසහගත ලෙස සකස් කළ යුතුය.

මෙවර අයවැයේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් නම්, පළාත් පාලන ආයතන හා පළාත් සභාවලට විශාල වගකීම් පවරා තිබීමය. ඒ යටතේ පළාත් පාලන ආයතනවල ප්‍රාග්ධන වියදම්වලින් සියයට 50 ක් පමණ එම ආයතන විසින්ම දරනු ලැබිය යුතු බව ප්‍රකාශ විය.

පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අඛණ්ඩව මධ්‍යම රජයෙන් මුදල් ලබා දිය නොහැකි බවත් එම ආයතන විසින්ම ඒවායෙහි වියදම් දරනු ලැබිය යුතු බවත් මෙහි ඇඟවුමයි. ඒ ආයතන ව්‍යුහවලට මෙතෙක් පැවරී තිබුණේ පරිපාලනමය වගකීම් වුව ද මෙවර අයවැයනේ ඒවා සංවර්ධන අරමුණුවලට ඉලක්කගත කිරීමට උත්සාහ දර තිබේ. එහෙත් මෙහි ප්‍රශ්නයක් තිබේ. එනම්, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොසිටීමය. එසේ නම් රජය ලබා දෙන මේ ඉලක්ක ඉටු කරන්නේ කවුද යන්න ප්‍රශ්නයකි.

උද්ධමනය සියයට 70 සිට තනි ඉලක්කමේ අගයක් දක්වා අඩු වූ බවත් සියයට 30 ක මට්ටමේ පැවති පොලී අනුපාත සියයට 15 දක්වා අඩු වූ බවත් පැවසීමෙන් ජනාධිපතිවරයා අදහස් කළේ ආර්ථිකය වැටී තිබූ නරක ම තත්ත්වයේ සිට යම් ස්ථායීතාවක් ඇති වී තිබෙන බවය. එම සංඛ්‍යාවන් ගැන සෑහීමකට පත් විය හැකි බව ඉන් අදහස් නොවේ. පොලී අනුපාත මීට වඩා පහළ අගයක පවතින්නේ නම් ආයෝජන ප්‍රවර්ධනය කිරීමට එය රුකුලකි. ඒ කෙසේවෙතත් අප ප්‍රතිපත්තිමය වශයෙන් අත් කර ගෙන ඇති ස්ථායීතාව ප්‍රමාණවත් නොවන බව කිව නොහැකිය.

මෙම අයවැය ලේඛනය මැතිවරණ ජයග්‍රහණය කිරීම අරමුණු කරමින් ඉදිරිපත් කළ එකක් යැයි කිව නොහැකිය. පවතින යථාර්ථය ඇතුළත අයවැය ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන තිබේ. එසේම වෙන් කර තිබෙන ප්‍රතිපාදන විමසීමේදී කිව හැක්කේ ඉදිරි වසරේ දී විශාල වෙනසක් අපේක්ෂා කළ නොහැකි බවය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ