අක්මා රෝගයක් යැයි කී විට අපට හැඟෙන්නේ වැඩිහිටියන්ට පමණක් සෑදෙන සිරෝසීස්, ෆැට්ලීවර් වැනි රෝගයක් ලෙසටය. එහෙත් පුංචි ළමයින්ටත් අක්මා රෝග සෑදෙයි. මේ සඳහා විශේෂ ප්‍රතිකාර කරන්නේ රාගම රෝහලේ විශේෂ ඒකකයක් මගිනි. අක්මා බද්ධ කිරීම් හා ඒ සම්බන්ධ විශේෂ ප්‍රතිකාර ඒකකය තිබෙන්නේ රාගම ශික්ෂණ රෝහලේ පමණි. මෙම ඒකකයට රිජ්වේ ළමා රෝහලෙන් හා රටපුරා රෝහල්වලින් රෝගී කුඩා දරුවෝ විශේෂ ප්‍රතිකාරවලට යොමු කරති.
මෙසේ මුලින්ම සඳහන් කරන්නේ පසුගිය වසර තුනට පෙර ළමා අක්මා රෝගීන්ට වඩා වර්තමානයේ අලුත් ළමා අක්මා රෝගීන් 350ක් පමණ එකතුවී තිබෙන නිසාය. එනිසා මවුවරු කුඩා දරුවන්ගේ අක්මා රෝග පිළිබඳ දැනුවත්වීම ඉතාම වැදගත්ය. එවිට රෝගය බරපතළ වීමට පෙර නිසි ප්‍රතිකාර සඳහා යොමු කර දරුවාගේ ජීවිතය බේරා ගත හැකිය.
කුඩා වියේ අක්මා රෝගයක් වැළඳීමට හේතු මොනවාද?
කුඩා දරුවකුට අක්මා රෝගයක් වැළඳීමට හේතු කාරණා කිහිපයක්ම තිබේ.
I පිත්ත නාළ නිසි ලෙසට සෑදී නොමැතිවීම
මෙම තත්ත්වය උපතින්ම හෝ බිහි වී ටික දිනකින් සිදුවිය හැකිය. එහෙත් මෙසේ වීමට හේතු වෛද්‍ය විද්‍යාත්මකව මෙතෙක් හඳුනාගෙන නැත. Biliary Atresia රෝගය අක්මා රෝගී කුඩා දරුවන් අතර සුලබව හඳුනා ගන්නා රෝගයකි. මෙතෙක් මීට හේතු සොයා ගෙන නැත.
II ජාන ගතවීම හේතුවෙන් සෑදෙන රෝග
III විෂබීජ ශරීර ගතවීම නිසා
IV ශරීරයේ තඹ තැන්පත්වීමෙන් මෙය “Wilson Disease” ලෙසට හඳුන්වයි.
V තම ශරීරයේ සෛල ශරීරයට විරුද්ධව ක්‍රියා කිරීම නිසා
VI හෙපටයිටීස් A B C වැනි විෂබීජ ශරීරගත වීමෙන්
මීට වසර දහයකට පමණ පෙර කහඋණ හෙවත් හෙපටයිටීස් අපේ රටේ සුලභව සෑදුණි. අද සනීපාරක්ෂක තත්ත්වය දියුණුවීම නිසා එම රෝගය දක්නට ලැබෙන්නේ පිත්ත නාළ නිසි ලෙස නොසෑදීම නිසාත් ජාන විකෘතිතා නිසා ඇතිවන අක්මා රෝගයි.
හඳුනා ගන්නේ කොහොම ද?
විවිධ වයස් කාණ්ඩවල දරුවන්ට මෙම රෝගය වැළඳුන විට ඇති වන රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ය. විශේෂයෙන් අලුත උපන් දරුවාගේ ප්‍රධානතම රෝග ලක්ෂණයක් ලෙසට ඇඟ කහවීම හඳුනා ගත හැකියි. ඒ ඉපදී පළමු මාසය තුළ දී ඇඟ කහ වීමෙනි. එතෙක් ඇඟ කහවන සෑම දරුවකුටම ඒ අක්මා රෝග ලක්ෂණයක් යැයි සිතිය නොහැකිය. උපන් මුල් කාලයේ බොහෝ දරුවන්ගේ සිරුර කහ පැහැ ගනී.
එහෙත් අක්මා රෝගී තත්ත්වයක් නිසා ඇඟ කහ වන්නේ නම් දරුවාට පහවෙන මළ පැහැය කිරිමැටි වැනි ස්වභාවයක් පෙන්වයි. එසේම මුත්‍ර තද දුඹුරු පැහැ ගනී.
ඇඟ කහ වීමේ දී ඇස් හා ඇඟ කොටස් විශේෂයෙන් කහ පාට වේ. ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවකු වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්විය යුතුය.
රෝගය වැඩි වනවිට
අක්මා රෝගය වැඩි වනවිට දරුවාගෙන් පහත සඳහන් රෝග ලක්ෂණ ද පෙන්වයි.
► ඇඟ ඉදීමේ
► විශේෂයෙන් උදරය ඉදීමේ
► උදරයේ රුධිර නාළ උඩට ඉලිප්පී පෙනෙන්ට පටන් ගනී
► දරුවාට සෑම විටම අධික නිදිමත ගතිය ඇතිවේ
► රුධිරයේ සීනි මට්ටම අඩුවේ
ඉහත රෝග ලක්ෂණ මෙන්ම පසුකාලීනව වර්ධනයේ අඩාල බව පෙන්නුම් කරයි.
වයස අවුරුදු 1-5 කාලයේ මෙන්ම වයස අවුරුදු පහට වැඩි දරුවකුගේ ඇස් කහ පැහැවේ නම් අක්මා රෝගයක් දැයි පරීක්ෂා කර බැලිය යුතුය. පරීක්ෂණ මගින් කුමන රෝගයක් දැයි තහවුරු කර ගත හැකිය.
පරීක්ෂණ මොනවද?
ඉහත රෝග ලක්ෂණ තිබේ නම් විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට දරුවා ලක් කරයි.
► මුත්‍ර පරීක්ෂණ
► රුධිර පරීක්ෂණ
► විශේෂිත ස්කෑන් පරීක්ෂණ
මේ හැර දරුවා නිර්වින්දනය කර අක්මාවේ කුඩා කොටසක් ගෙන කරන පරීක්ෂණය ද කරයි. මෙම පරීක්ෂණ මගින් රෝගය තීරණය කිරීම පහසු වේ.
දරුවාට ජාන ආශ්‍රිත අක්මා රෝගයක් නම් ජාන පරීක්ෂණයක් ද අවශ්‍ය විය හැකිය.
ප්‍රතිකාර මොනවාද?
අක්මා රෝගයක් යැයි කී විට මවුපියවරු දැඩි ලෙස බිය වෙති. එසේම එය භයානක තත්ත්වයක් ද? ප්‍රතිකාර තිබේ ද? ප්‍රතිකාර ඕනෑද? යයි සිතන අවස්ථා තිබේ.
මෙහිදී දරුවාට වැළඳී ඇති අක්මා රෝගය අනුව ප්‍රතිකාර වෙනස් වේ. එහෙත් මවුපියවරු බියවිය යුතු නැත. මුලදීම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නිසි ලෙසට කිරීමෙන් ඖෂධ මගින්ම කුඩා දරුවාගේ රෝගය සුව වේ.
මේ හැර ශරීරයේ තඹ තැන්පත්වීම තම සිරුරේ සෛලවල තිබෙන සෛලවලට විරුද්ධව ක්‍රියා කරන රෝගයෙන් පෙළේ නම් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් මෙම රෝග දෙකම ඖෂධ මගින් පාලනය කළ හැකිය.
මේ හැර පිත්ත නාළ හැදිල නැති තත්ත්වය හා සමහර ජාන ගත රෝගයකින් දරුවා පෙළේ නම් ඒ සඳහා අක්මා බද්ධ කිරීම අවශ්‍ය වේ.
අලුත උපන් දරුවාට වයස මාස තුන ඇතුළත කිරිමැටි පාටට මළ පහවන්නේ නම් ඉතා ඉක්මනින් විශේෂඥ වෛද්‍ය උපදෙස් ගැනීම අවශ්‍යය. එසේම පළමු මාස තුනේ දී සිරුර කහපාට වීම අඩු නොවේ නම් කහපාටම පවතී නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය.
ඔබට දරුවාගේ මළවල පැහැය ළමා වර්ධන සටහන් පොතේ සාමාන්‍ය සහ අසාමාන්‍ය මළ පහවල පැහැ දක්වන රූපයක් සටහන් කර තිබේ. එම පින්තූරය සසදා බැලිය හැකිය.
රාගම ශික්ෂණ රෝහලේ ළමා අක්මා ඒකකයේ ළමා රෝග විශේෂඥ හා රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යමෙරන්ති ප්‍රනාන්දු
සටහන : ශිරානි ගල්ලෑල්ල