‘වැලිකතරේ’ ටාසන් කුමාර් ජී. ආර්. පෙරේරා අද අවසන් ගමන් යයි


උතුරුකරයේ නීති විරෝධි ලෙස හොර බඩු ප්‍රවාහනය කරමින් සිය අණසක පතුරුවා සිටි ගෝරිං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූ හැඩි දැඩියෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබේ. පොලිස් නිලධාරියෙක් මේ ආරංචිය උප පොලිස් අධිකාරි වික්‍රම රන්දෙනියට ලබාදෙයි. ඔහු හනික පොලිස් ස්ථානයට එයි. 

‘‘මෙයා අපිට කරාටේ  දාන්න ආවනේ සර්’’ පොලිස් නිලධාරියා හැඩි දැඩි පුද්ගලයකු පෙන්වා කියයි. වික්‍රම හැඩිදැඩියා අසලට යයි. 
‘‘උඹට ගෝරිං මුදලාලිද කරාටේ ඉගැන්නුවේ... තොට ගෝරිං මුදලාලි කීයක් දෙනවද උගේ පක්කලි වැඩ කරනවාට ?
‘‘මේ අත්වලට හයිය තියෙනකං..’’ ඔහු කට ඇරියේය. 
‘‘වහපං යකෝ කට. තොගේ නම මොකක්ද’’
‘‘නම කුමාර්. මිනිස්සු කියන්නේ ‘ටාසන්’ කියලා. ‘‘ටාසන් කුමාරයා... ආ යකෝ කෝ උඹේ චිංපන්සියා.
මං හිතන්නේ උඹට වැරදිලා. උඹ ටාසන් නෙවි. ටාසන් ටාසන්ගේ චිම්පන්සියා මගේ හිතේ. උඹ ජීවිතේට ආදරෙයිනේ ටාසන් කුමාර්?’’ 
‘‘මං ජීවිතේට ආදරේ නැහැ සර්’’ 

වික්‍රමගේ මුහුණට ක්‍ෂණික කෝපය ආරූඨ වෙයි. ඔහු වැරෙන් ටාසන්ගේ මුහුණට පාරක් ගසත්ම ටාසන් තම අත අල්වා එය වළක්වයි. වික්‍රම වියරු වැටුණකු මෙන් ටාසන් දිගට හරහට පහර දෙන්නට පටන් ගනියි. අනිකුත් පොලිස් නිලධාරිහු වික්‍රම අල්වා  නවත්වති. 
‘‘Take him away' I don’t want to see that stinking face again” 

තිස්ස අබේසේකර විසින් ලියු වැලිකතර තිර රචනය ඇතුළත් මුද්‍රිත කෘතියෙන්. ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්‍ෂණය කළ ‘‘වැලි කතර’’ චිත්‍රපටයේ ටාසන් ලෙස ඉතා කෙටි දර්ශනයක දී උපරිම කුසලතා පෙන්නු හැඩි දැඩියා ඔබට මතකද? තිස්ස අබේසේකරගේ හඳුන්වාදීමෙන් සිනමාවට එක්වූ ඔහු ජී.ආර් පෙරේරාය. සිනමාවත් පුංචි තිරයත් දික් විජය කළ ඔහු සුදත් රෝහණගේ ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ කෙටිටිඹුල් සිල්වතා  (නඩෝ ගුරා) ලෙස තැන්පත් වයෝවෘද්ධයකු ලෙස සුදු උඩු රැවුලක් සහිත රඟපෑ ඒ අපූරු චරිත අප කෙසේ අමතක කරම්ද?

ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී.ආර්. පෙරේරා. 1939 නොවැම්බර් 13 වැනි දා බොරලැස්ගමුවේ උපත ලැබුවේය. රත්තණපිටිය ආනන්ද  බෞද්ධ මිශ්‍ර පාසලින් මුලික අධ්‍යාපනයත්, කොටහේනේ කුමාර විද්‍යාලයෙන් ද්විතික අධ්‍යාපනයත් ලැබූ කාලයේ ඔහු පාසලේදි රත්නපාල ගල්හේන නමින් ප්‍රකට වූයේ සටන්කාමි ගති නිසාය.

රත්නපාලගේ කලා රසාස්වාදය දියුණූ කිරිමට විදුහල්පති ධර්මසේන අරම්පත්ත මහතා (පසුව ඉංග්‍රීසි මහාචාර්ය) හා චිත්‍ර ගුරුවරයා වූ එඩ්වින් හේවාකපුගේ මහතාත් (අයි.පී.බී අධිපති) මඟ පෙන්වූ බව ඔහු අපට කියා තිබුණි. ඔහුගේ සමකාලීන ශිෂ්‍යයන් වුයේ ජී.ඩී.ඇල්.පෙරේරා, එස්. කරුණාරත්න, කරුණාරත්න ඩී. පිලිප් මිතුරන්ය. 

පන්නිපිටියේ පදිංචිව සිට විදුදය විශ්ව විද්‍යාලය අසල එගොඩවත්තට පදිංචියට ආ පන්නිපිටියේ ධර්මපාලයේ ශිෂ්‍ය තිස්ස ෆොන්සේකා (පසුව තිස්ස අබේසේකර) රත්නපාලට හමුවන්නේ අහම්බෙන් ගමේ ඉපනැල්ලේ ක්‍රිකට් තරගයක දිය. 

හැඩිදැඩි රත්නපාලගේ යෝධ පොල් අඩි පාරක් මෙගොඩ සිටි තිස්ස රැක ගත්තේය. රත්නපාල දුවගෙන විත් තිස්සගේ අතින් අල්ලා ගෙන පන්දු රැකීමට තෝරාගත්තේය. එදා සිට තිස්ස හා රත්නපාල කල්‍යාණ මිත්‍රයෝ වූහ. ඒ මිතුදම දිගටම පැවතුණි. තිස්ස ඔහු ඇමතුවේ ‘‘රතනේ’ කියාය.

රත්නේ හා තිස්ස  ගමේ මාළු බෑමට කැටුව ගියේය. එගොඩවත්තේ පැරණීම පදිංචිකාරයන්ගේ පරම්පරා එන රත්නේගේ ජීවිත තොරතුරු අඩු වැඩියෙන් අසා තිබු තිස්ස පසුකලෙක රචනා කොට අධ්‍යක්‍ෂණය කළ සම්මාන රැසකින් පිදුම් ලද’’ පිටගම්කාරයෝ’’ නම් දීර්ඝ ටෙලි වෘතාන්තයේ එන ජයසේනගේ චරිතය රත්නේට රඟපෑමට දුන්නේය. මේ චරිතයට පසුබිම් වුයේ රත්නේ ගේ ජීවිත කතාව ඇසුරෙන් තමා සොයාගත් සත්‍යය හා කල්පිත අත්දැකීම් ඇසුරෙන් නිර්මිත බව තිස්ස පවසා තිබුණි.

දැඩි ප්‍රතිපත්ති ගරුකව. වාමාංශික අදහස් පන්නරය ලැබු රත්නපාල රුසියානු සාහිත්‍යයට දැඩි ලෙස ආදරය කළේය. තිස්ස නිසා හඳුනා ගත් පන්නිපිටියේ ධර්මපාලයේ පන්ති සගයන්වූ වික්‍රම බෝගොඩ, ප්‍රේමරංජිත් තිලකරත්න ආදින්ගේ ඇසුර නිසා නාට්‍ය, විත්‍රපට, සාහිත්‍ය ගැන වාද විවාද පවැත් වූ රත්නපාල තිස්ස විසින් ශිෂ්‍ය අවදියේම ලියනු ලැබු මුල්ම කෙටි කතා සංග්‍රහය වූ ‘ඉපනැල්ල’ මුද්‍රණය කිරිමට මූලිකත්වය ගත්තේය. 

රත්නපාල, සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ ට බැඳෙන්නේ නාට්‍ය කලාවට ඇති ඇල්ම නිසාය. ඒ වන විට ඔහු කොළඹ නගර සභාවේ සෞඛ්‍ය පරික්‍ෂකවරයකු ලෙස සේවය කළේය. පසුව වසංගත රෝග මර්දන සෞඛ්‍ය පරික්‍ෂකයකු ලෙස මහජනතාවට විශාල සේවයක් කිරීමට දායක විය.

ප්‍රේමරංජිත් තිලකරත්න හාපුරා කියා ලියා නිෂ්පාදනය කළ ‘වගුරු බිම’ නාට්‍යයට තිස්ස, රත්නපාල, මෙන්ම, බොගොඩ හා ධර්මසිරි වික්‍රමරත්නද පිටු පස සිට උදව් කළෝය. ධර්මසිරිගේ ‘රන්තෝඩු’ නාට්‍යයට සම්බන්ධවූ රත්නපාල ඉක්මන් කේන්ති කාරයෙක් විය. ඔහු මිතුරන් සමඟ ගැටුණේය. එය මිත්‍රත්වය කිසි දිනක බාධාවක් කර නොගත්තේය. ‘‘මං නිවුඩු හාල් කන ගොවියෙකුගේ පුතෙක්. මගේ අත් දෙක යකඩ. මඩ සෝදා ගත්තාම අපි රජකමටත් ඔබිනව’. රත්නපාල කේන්තියක් ආ විට කියන ප්‍රකට කියුමකි. 

වරක් මිතුරෙකු අතර ආරෝවකදී ඔහුට යෝධ පහරක් එල්ල කළේය. මිතුරා බියර් බෝතලයකින් දුන් පහරක් නිසා නාස් පුඩුවලින් ලේ වගුරුවමින් හැඳ සිටි මේස් බැනියම ලෙයින් තෙත් කර ගෙන රෝහල් ගත කිරීමේ පුවතක් අප අසා ඇත. රෝහලේදි රත්නපාලට ප්‍රතිකාර කළ කාරුණික හෙදියකගේ අත් ගුණයට ඔහු ඉක්මනින් සුව විය. මේ හෙදිය වූ ෆ්ලෝරිඩා පෙරේරා පිළිබඳ සිත් ඇතිව ඔහු පසුව විවාහ කර ගත්තේය. 

එදා මිතුරෙකුගේ බීර බෝතලකින් තුවාල ලැබුවේ තමාගේ දුර්වලතාවකින් බව අවබෝධ කරගත් රත්නපාල ඔහු මිතුරා සොයා ගියේය. මිතුරා මර බියේ සැඟවිණි. ඔහු හඹා ගිය රත්නපාල හැඟුම් බරව මෙසේ කීවේය. ‘‘තිලකේ, මට ගැහැව්වේ මාව මෙල්ල කරන්නයි. ඉතින් මීට පස්සේ ඒ වරද කරන්නෙ නෑ කියල තිලෙකට මම පොරොන්දු වෙනවා’’ රත්නපාල කීවේය. 

‘‘ඇයි මම? මීට පස්සේ හතුරෙකු ගෙවත් ලේ හොලවන්නේ නෑ කියලා රත්නෙට පොරොන්දු වෙනවා’’ යයි කී මිතුරා රත්නපාලට සුරත දිගු කළේ සතුටු කඳුළු වගුරුවමිනි. එතැන් සිට මේ මිතුරන් ගජ මිතුරන් වූ අතර මිතුරා රත්නපාලට පෙර වසර හතරකට පෙර ජීවිතයෙන් සමු ගත්තේය. රත්නපාලගේ යකඩ ශරීරය තුළ මානව හිතවාදීයකු සැඟ වී ඇති බව​ට වෙනත් සාක්‍ෂි කුමටද?

රත්නපාල ගල්හේන ‘‘ජී.ආර්. පෙරේරා’’ නමින් කලා ලොවට එක් වන්නේ ‘වැලිකතර’ චිත්‍රපටය  තුළින් වුවත් ඔහුගේ සිනමා රංගනයේ උච්ච අවස්ථාව වූයේ මනික් සන්ද්‍රසාග්‍ර ගේ’.  කළු දිය දහර ’ 1975 චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයෙනි. ඉන්පසු මනික් සන්ද්‍රසාග්‍රගේ Rampage (1978) තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’ (සියදෝරිස්) (1980) විරාගය (වෙද මහත්තයා) (1987), සිහින දේශයක් (1996) (1998) පාදඩයා (1999), සත්‍යාදේවි (1999) සඳ යහනට (2000), අස්වැසුම (2001) පාර්ලිමන්ට් ජෝක්ස් සුදු සෙවනැලි (2002) සුරපුරට කන්‍යාවක්, සොඳුරු දඩබිම (2003) සූරිය අරණ රජ්ජුමාලා, රන් දිය දහර (2004) ඇතුළු චිත්‍ර පට කීපයක රඟපෑවේය.

සිනමා රංගණයට වඩා පුංචි තිරයේ කැපී පෙණුන විවිධ චරිත ගණනාවක් රඟ පෑ නළුවෙකි - ජී. ආර්. දොළොස්මහේ ගංගාව, ගංගාවතරණය, සිටුවරයෝ - අම්මයි තාත්තයි පිටගම්කාරයෝ. සුර අසුර, අඹු සැමියන් ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක රඟ පෑ ඔහු සුමති සම්මාන කුසලතා සම්මානයකින් පුද ලබා ඇත. 

ජී. ආර්. පෙරේරා හා ෆ්ලොරිඩා පෙරේරා යුවළගේ ලොකු පුතා සහන් සුමේධ හා බාල දියණි යමුණා එරන්දති ඕස්ටේලියාවේ පදිංචි වී සිටි අතර දෙවැනි දියණි සරෝජිනි නයනතරා තම පියා හා මව සමඟ ජීවත් වූවාය. 
අද අවසන් ගමන් යන ජී. ආර්.ට විප්ලවිය ආචාරය. 

ඒ. ඩී. රන්ජිත් කුමාර