‘සිහිමුළා’ දශකයේත් සිහිමුළා නුවූ සිරිලාල්


පී.බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ ජන්ම ශත සංවත්සර අනුස්මරණ උලෙළ 2017 මාර්තු මස 03 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. ඒ නිමිත්තෙන් ‘සමස්ත ලංකා කවි සම්මේලනය’ ප්‍රකාශයට පත් කළ ‘පී.බී. කිවියර සියවස් හරසර’ නමැති සමරු කලබ සංස්කරණය කිරීමේ ප්‍රශස්ත කාරිය පැවරුණේ කෘතහස්ත මාධ්‍ය ප්‍රවීණයකු මෙන්ම චරිතාපදාන සම්පාදකයෙක් වූ මා සත්මිත්‍ර පී.ඇම්. සේනාරත්නයන් වෙතය.

එම පොතට ඇතුළත් කිරීම සඳහා කිර්තිමත් ලේඛක කිවියර සිරිලාල් කොඩිකාරයන්ගෙන් කාව්‍ය රචනයක් ලබා ගැනීම අවශ්‍ය වූයෙන් ඔහු හමුවීමට යෑමට සේනාරත්නයෝ මට වෙසෙස් ඇරයුමක් කළහ. මගේ අතිශය හිතෛෂී මිත්‍රයක් වූ සිරිලාලුන් කලකට පසු දැකීමේ බලවත් ස්නේහ උපන් හෙයින් මම ගමනට එක හෙළා එකඟ වීමි.

අප දෙදෙනා සිරීගේ නිවසට ගියේ 2017 පෙබරවාරි 16 වැනි බ්‍රහස්පතින්දා දිවා කලය. ඒ වනවිට ඔහු අනූතුන් වැනි වියේ පසුවිය. ඔහු 1924 අගෝස්තු 24 වැනිදා උපත ලද්දෙකි.

එදා අප දෙදෙනා සිරීගේ කාමරයට ඇතුළු වනවිට එක් වරම දක්නට ලැබුණේ චිත්ත ප්‍රබෝධ කර ආහ්ලාදජනක දර්ශනයකි. 

සිරිලාල්හු හාන්සි පුටුවේ ඇලවී කන්නාඩියකින්ද තොරව වාත්ස්‍යායනගේ ‘කාම සූත්‍රය’ ග්‍රන්ථය කියවති. කාමරයට පිවිසුණු දෙදෙනා ඔහුගේ අවධානයට ලක් නොවෙති. මෙහෙකාරිය අප පැමිණ සිටින බව සැල කර සිටී. ඉන්පසු අප දෙදෙන හැඳින ගත් ඔහු හඬ නගා සිනාසී හෙමින් නැගී සිට අප බදා වැළඳ ගනියි. පසුව ‘කාම සූත්‍රය’ පොත අතට ගත් ඔහු වාත්ස්‍යායන ආචාර්යවරයා වෙත නිර්දය ප්‍රහාරයක් එල්ල කළේ තමා ‘මෝමූහ’ (90) දශකයට එළඹ සිටියද තවමත් ‘ප්‍රඥා’ දශකය (50) නොයික්ම වූ ඥාන තාරුණ්‍යයේ පසුවන්නෙකු බව නියත ලෙස සනාථ කරමිනි.

“මේ පොතට ‘කාම සූත්‍රය’ කියල කිව්වට මොකද මේකේ අඩුවෙන්ම තියෙන්නේ කාමය. වැඩියෙන්ම තියෙන්නේ අර්ථ, ධර්ම, මෝක්ෂ. ඒ වුණාට චතුර්විධ පුරුෂාර්ථ අතරින් කාමය තමයි සාහිත්‍යය, සංගීතය, කලාව ආදියේ පහළ වීමට මුල් වුණේ.” 

ජීවිතයේ දශක දශකයට අයත් නව වැනි දශකය හෙවත් ‘මෝමූහ’ (සිහිමුළා) නමැති දශකයේදී පවා තමා කිසිසේත් ‘මෝමූහ’ නොමැති බව සිරිලාලුන් අප දෙදෙනාට ප්‍රත්‍යක්ෂ කරලූයේ එකී අදීන ප්‍රකාශයෙනි. එය ඔහුගේ ප්‍රගල්භ සාහිත්‍ය චින්තන හඬ නගා කියන ප්‍රබල සාධකයකි. 

සිරිලාල් කොඩිකාරයන්ගේ දේශපාලන චින්තනයේ පරිණත පරිණාමයේ පසුබිම හැඳින ගත හැකි සාධක රාශියක් ඔහුගේ ස්වයං ලිඛිත අපදානය වන ‘දිය වැලක් ඔස්සේ’ (1986) කෘතියෙහි තන්හි තන්හි සම්පිණ්ඩිතව ඇත. මේ ඊට සනිදර්ශන කොට දැක්වෙන උද්ධෘත පාඨයකි.

“අප රටේ ඇඳුම, කලිසම වෙනවාට අප විරුද්ධ විය යුතු යයි මම නොසිතමි. ඉංගිරිසි භාෂාව අපේ ප්‍රයෝජනයට යොදා ගත යුතු යයි මම අදහමි. ප්‍රශ්නය මෙයයි. අධිරාජ්‍ය පාලකයාගේ භාෂාවත් ඇඳුමත් එකට මාට්ටු කරගෙන දෙරුවනක් ලෙස සලකා පිදීම තුළ සැඟවුණු අරුත කුමක්ද? අධිරාජ්‍ය ගැති දේශපාලනය මේ හා අවුත් ඇති බවය. දේශපාලනය වෙස් වළාගෙන සිටින තැන් බොහෝය. මේ එවැනි තැනකි.” (184 පිටුව)

කලිසම කෙසේ වෙතත් තවමත් දක්නට ලැබෙන ඉංග්‍රීසි වන්දනාව, තම මව් බස වන සිංහලය බාල බඩුවක් සේ සැලකීම, එවැනි අධිරාජ්‍ය ගැති බැති පුදක් නොවේද?

මේ සිරිලාලුන්ගේ දේශපාලන චරිතය පිළිබිඹු කරන තවත් නිදර්ශන කැටපතකි.
“එංගල්ස්ගේ කෘතියක සිංහල අනුවාදය, ‘පවුල, පෞද්ගලික දේපොළ හා රජය ඇතිවූ සැටි’ පොතද ‘ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් පොලිටිකල් නොලේජ්’ නම් කුඩා ඉංගිරිසි පොතද මට මෙහි සිංහල ලේ පිළිබඳ ප්‍රචාරයෙහිත් තවත් එවැනි ප්‍රචාරවලත් අවිද්‍යාත්මක භාවය  ඉතා හොඳින් තේරුම් ගැනීමට උපකාරි විය.

මෙසේ වෑයමෙන් කරුණු වටහා ගන්නා කාට වුවද එලාර-දුටුගැමුණු යුද්ධය කෙරිණැයි සැලකෙන වර්ෂවල පැවැති සිංහල-දෙමළ තත්ත්වයනුත් අද පවතින සිංහල-දෙමළ තත්ත්වයනුත් අතර ඇත්තේ මොන තරම් වෙනසක් දැයි සිතෙනු ඇත. එදා නම් ලේ සම්බන්ධය සලකන්නට අදට වඩා ටිකක් වත් පුළුවන්කම තිබෙන්නට ඇතැයි සිතේ. කොහොමත් මිනිස් සමූහ, සතුන් වර්ග මෙන් ජීවවිද්‍යානුකූලව වෙනස් වෙනස් වර්ග ලෙස සලකන්නට පුළුවන්කමක් නැති බව මට නම් හොඳටම තේරෙයි.” (189 පිටුව)

මේ සිරිලාලුන් සිංහල වියරණය කෙරෙහි දැක්වූ අදීන ආකල්පය කියා පාන මනා නිදසුනකි. 

“සිංහලයාගේ කටටවත් කනටවත් න-ණ, ල-ළ භේදයක් නැත. කුමාරතුංග මුනිදාස මහතා සිංහල දරුවන්ගේ කටටත් කනටත් මේ අක්ෂර උච්චාරණ භේදය විශේෂයෙන් හුරු කරවීම සඳහා පද්‍ය රචනයන්ද කර ඇත. ඒ අනුව උච්චාරණ භේදය හුරු කර ගන්නට කාටවත් පුළුවන් වුණා දැයි නොදනිමි. මට නම් බැරිය. ඔබ මහන්සි ගෙන බලන්න. කුමරතුඟු පැදි එකතුව පළමු වැනි වෙළුම ගෙන එහි අඩංගු  ‘කියවන නුවණ’ බිළිඳු පොත්වල ගී කියවා ගෙන යන විට ඔබට කුමාරතුඟු මුනිදාස මහතාගේ මේ වෑයම හමුවෙයි.”

(‘සිරස’  (ජාතික මාසික සංග්‍රහය) 1993 අප්‍රේල්  පළමු වෙළුම, දෙවන කලාපය 9-10 පිටු)

එදා මා සහ මගේ සත්මිත්‍ර සේනාරත්නයන් සිරිලාලුන් හමුවූ මොහොතේ එකට අත්විඳි හෘදයානන්දකර ‘කාම සූත්‍ර’ අත්දැකීම පී.බී. සියවස්  සමරු කලඹෙහි සටහන් කර තැබීමට සේනාරත්නයෝ අමතක නොකළහ. මා ද එය මගේ ‘ෆේස්බුක්’ මාධ්‍ය තීරයෙන් හෙළි කර සිටියේ 2021 අගෝස්තු 24 වැනි දිනට යෙදුණු සිරිලාලුන්ගේ 97 වැනි උපන්දින සමරුව නිමිත්තෙනි.

සිරිලාල් කොඩිකාරයන් විසින් විරචිත සියලුම කාව්‍ය රචනා සංගෘහිත ‘සිරිලාල් කොඩිකාර කාව්‍යාවලී’ නම් අභිනව කෘතිය, පී.ඇම්. සේනාරත්නයන් විසින් සම්පාදිතව, කොළඹ කවි සංහිතා අංක: 16 වශයෙන්, 2021 වසරේ ප්‍රකාශයට පත්වීම, ඔහුගේ 97 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පිරිනැමූ මාහැඟි නිර්මාණ ප්‍රණාමයක් යැයි සිතමි.

මේ පැදි වනපසමල පුදමින් සොයුරු සිරීගෙන් සමු ගනිමි!
පණ නල දුන්න රට පණ මෙන් රැක්ක  සිරී
පණ ලෙස රැකි බසින් ඔද තෙද පෑව  සිරී
දන දුක නිවන්නට නෙක දුක වින්ද  සිරී
ණය නැත ඔබ රටට දනහට සොයුර  සිරී


- කරුණාරත්න අමරසිංහ