(සටහන ගාමිණී කන්දේපොළ)
• මෙම ශාස්ත්‍රීය ලිපි එකතුව කෘතියක් හැටියට සංග්‍රහ කිරීමේදී අවධානයට ලක්වූ කාරණා කෙබඳු ද?
“මෙම සංග්‍රහයට ඇතුළත් කෙරුණේ, මීට අවුරුදු විස්සක් තරම් කාලයක සිට ශාස්ත්‍රීය හා වාර සඟරාවල පළ වූ ලිපිවලින් තෝරාගත් ලිපි එකතුවක්. එසේ පළ වූ ලිපි එක තැනකට ඒකරාශි කිරීමත්, වැඩි පාඨක පිරිසකට ප්‍රයෝජනයක් ගැනීමේ අපේක්‍ෂාවත් ඇතිවයි කෘතියකට සංග්‍රහ කළ යුතු යැයි කල්පනා කළේ.
අනෙක් අතින්, සඟරාවල පළ කෙරුණ ඇතැම් ලිපිවල අඩුලුහුඬුකම් පැවැතීමත්, නිවැරැදි මූලාශ්‍ර නොදැක්වීමත්, සම්පූර්ණ ලිපිය පළ නොවීමත් නිසා මෙයින් ප්‍රයෝජනයක් ගන්නා කෙනකුට යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ අනුව, සම්පූර්ණ ලිපිය කියැවීමටත්, නිවැරැදි මූලාශ්‍රය සොයා ගැනීමටත් මේ කෘතියෙන් අවස්ථාව ලැබෙනවා.”
• ඔබ මේ කෘතියේ සාකච්ඡා කරන ‘සාහිත්‍ය නිර්මාණය හා යථාර්ථ ඥනය’ යන කාරණය කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු කරන්නට කැමැතියි. නිර්මාණ කෘතියක යථාර්ථ නිරූපණය යන්න ඔබ පැහැදිලි කරන්නේ කොහොම ද?
“නිර්මාණයක ඉතා වැදගත් වන්නේ, යථාර්ථ නිරූපණයයි. සමාජ ජීවිතය තුළ ඇති වන අන්තර් සම්බන්ධතා ජාලය යථාර්ථ නිරූපණයේදී මූලික වෙනවා. එය කලා කෘතියකින් නිරූපණය කෙරෙන්නේ චිත්ත රූප මගින්.
ලෝකයේ සාහිත්‍ය කලා නිර්මාණ බිහි වූ මුල් කාලයේ සිටම මේ යථාර්ථ නිරූපණය දැකගත හැකියි. උදාහරණයකට යුද්ධය, එහි ස්වභාවය, විනාශකාරී බව නිර්මාණය තුළ මතු කිරීමෙන් අවසානයේ පාඨකයා - රසිකයා අතර ඉතිරි වන්නේ, යුද්ධයේ යථාර්ථයයි. එහි ඇති ඛේදවාචකය, ස්ත්‍රීන් මුහුණ දෙන ප්‍රශ්න, අහිමි වීම ඒ යථාර්ථ නිරූපණය තුළ ඉතිරි වෙනවා.
ඒ නිර්මාණ වැදගත් වන්නේ, රස නිෂ්පත්තිය නිසා පමණක් නොවෙයි. ඒවා අද දක්වා පවතින්නේ මිනිසුන් ඥානනය කරන වටිනාකමක් තිබෙන නිසා. එයින් මතු වන්නේ, යථාර්ථවත් බවයි, ‘සාහිත්‍ය කෘතිය රසාත්මකයි’ කියන එක පැරැණි සමාජයේ සිටම පිළිගත් එකක්. හැබැයි ඊට එහා ගිය අන්‍යතර ප්‍රයෝජනයක් එහි ඇති බව වටහා ගැනීම වැදගත්.
ලෝකයේ ලේඛන කලාව ආරම්භ වූ ක්‍රි.පූ. 7 වැනි සියවස තරම් කාලයේ මැටි පුවරුවල ලියන ලද සුමේරියානු ලිපි හමු වෙනවා. ඒවා ‘ඥාන ගර්භ ග්‍රන්ථ’ යන නමින් හඳුන්වන්න පුළුවන්. මේ ලිපිවල ඇතුළත් වෙන්නේ, උපමා කතා, ප්‍රස්ථා පිරුළු ආදියයි. ඒ නිසා මේවා සාහිත්‍යයක් හැටියට සලකන්න පුළුවන්. එය ඍජුවම නොව වක්‍රව යම් යම් කරුණු ඉදිරිපත් කරන මාධ්‍යයක්. ඒ අනුව බැලුවාම එය නිර්මාණාත්මක සාහිත්‍යයක්. අතීතයේ සිටම සාහිත්‍ය නිර්මාණයක අරමුණ වුණේ, ඥානය සම්පාදනය කිරීම බව එයින් වටහා ගන්න පුළුවන්.”
• එහෙත්, ප්ලේටෝ වැනි දාර්ශනිකයන් කලාව සහ යථාර්ථය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මතය මීට වෙනස් නේද?
“ප්ලේටෝ ‘ජනරජය’ කියන කෘතියෙන් මුල් වරට ‘අනුකරණය’ කියන වචනය භාවිත කරනවා. ඔහුගේ මතය අනුව කලාව කියන්නේ, යථාර්ථය නොවෙයි. ඔහුට අනුව, කලාව දෘශ්‍යමානය අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක්. එය ව්‍යාජ අනුකරණයක් බවත්, එයින් රසිකයා රැවැටුම් ලබන බවත් ප්ලේටෝ කියනවා. ඒ නිසා රසිකයා යථාර්ථ ඥානයෙන් දුරස් කිරීමට කලාව බලපාන බවයි ඔහු පැහැදිලි කරන්නේ.
ප්ලේටෝ එය පැහැදිලි කරන්නේ කොහොම ද? චිත්‍ර ශිල්පියෙක් ඇඳක් චිත්‍රයට නැගූ විට එහි ඇත්තේ ඇඳක්ම නොවෙයි. ඇඳක් වගේ පෙනෙන දෙයක්. පළමු ඇඳ නිර්මාණය කරන්නේ එක්කෝ සොබාදහම, නැත්නම් දෙවියෝ. දෙවැනි ඇඳ වඩු කාර්මිකයෙක් හදන ඇඳක්. තුන් වැනි ඇඳ තමයි චිත්‍ර ශිල්පියා අඳින ඇඳ වෙන්නේ. ඒ අනුව, ප්ලේටෝ කියනවා චිත්‍ර ශිල්පියා අඳින ඇඳ සොබාදහමෙන් තුන් වරක් දුරස් වූවක් බව.
කලා කෘති ව්‍යාජ බවත්, ඒවා සමාජයට අහිතකර බවත්, තමන් විශ්වාස කළ මනෝරාජික ජනරජයට කලාකරුවන් නොගත යුතු බවත්, ප්ලේටෝ සිතුවේ ඒ නිසයි. ඒත්, ප්ලේටෝගේ මේ ප්‍රකාශවලින් අවසානයේ ඇඟවෙන්නේ මොකක් ද? කලාව කොච්චර ප්‍රබල මාධ්‍යයක් ද කියන එකයි. ඔහු විඥානවාදියෙක් නිසා එකල සිටි භෞතිකවාදීන්ගේ අදහස් පිළිගත්තේ නැහැ. කලාව ගැනත් ඔහු සිතුවේ විඥානවාදීව.
ප්ලේටෝ මුලින් කවියෙක්. ඔහු කවි ලිවීම අතහරින්නේ සොක්‍රටීස්ගේ බලපෑමට. ඔහු කලාවට වඩා යොමු වෙන්නේ දර්ශනවාදය පැත්තට. ඔහු කලාව ප්‍රතික්ෂේප කරන්නේ, එයින් විශාල බලපෑමක් ඇති වන බව පිළිගත්ත නිසයි.”
• මේ සම්බන්ධයෙන් ඇරිස්ටෝටල් ගේ මතය කුමක් ද?
“ඇරිස්ටෝටල් තම ගුරුවරයා වන ප්ලේටෝගේ මතය ඒ ආකාරයෙන්ම පුනරුච්චාරණය කළේ නැහැ. කලාව තුළ අනුකරණ ස්වරූපය දරන බව ඔහු පෙන්වා දුන්නා. මිනිසාගේ මුල්ම පාඩම අනුකරණයයි. අනුකරණයෙන් ඉගෙන ගන්නා බවත්, දෙවැනුව අනුකරණයෙන් ආස්වාදයක් ලැබීමේ ගුණයක් තිබෙන බවත් ඔහු පැහැදිලි කරනවා.
අපට ප්‍රිය හෝ අප්‍රියජනක දේ අපි කලාව ඇතුළේ විඳිනවා. ඒකට හේතු වෙන්නේ, ඉගැනීමට තිබෙන ආශාව. ඒ අනුව, කලාව අධ්‍යාපන මාර්ගයක්. ඇරිස්ටෝටල් ට්‍රැජඩි නාට්‍යයක සංකීර්ණ කතා වින්‍යාසය විග්‍රහ කරන්නේ ප්‍රත්‍යභිඥානයක් හැටියට. කලාව ඥානන මාර්ගයක්. ප්‍රත්‍යභිඥානයෙන් අවධාරණය වන්නේ, අඥාතභාවයේ සිට ඥාතභාවයට පැමිණීමක් හැටියට.”
• යථාර්ථ නිරූපණය යන්න පැරැණි ලාංකික සම්භාව්‍ය සාහිත්‍යයට සම්බන්ධ කළොත්, ජාතක කතා ආදියෙන් එය මතු වන්නේ කොහොම ද?
“එය ඉතාම වැදගත් නිර්මාණ ක්‍ෂේත්‍රයක්. ජාතක කතා යනු, හුදෙක් උපදේශාත්මක කෘති බවට බොහෝ දෙනෙක් ලඝු කොට කතා කරනවා. ඒත්, ජාතක කතා බොහොමයක් යථාර්ථය මැනැවින් මතු කරන විශිෂ්ට නිර්මාණ. මෙය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු නිර්මාණ ක්‍ෂේත්‍රයක්.
යුරෝපයේ බිහි වූ ‘පාඨක ප්‍රතිචාර න්‍යායට’ අනුව, පාඨකයාට පුළුවන් සාහිත්‍ය නිර්මාණයක් අර්ථකථනය කරන්න. සාහිත්‍ය කෘතිය නිර්මාණය කරන කෙනා ටික කලකින් නැතිව යනවා. ඒත්, නිර්මාණය ඉතිරි වෙනවා. නිර්මාණයක් සමාජගත කළාට පස්සේ, එය තවදුරටත් ලේඛකයාට පමණක් අයිති වන්නේ නෑ. එය සමස්ත සමාජයට අයිතියි. අපි ජාතක කතා දිහා බලන්න ඕනෑත් ඒ විදිහටයි.
ජාතක කතා බොහොමයකදී ස්ත්‍රිය අවමානයට ලක් වෙනවා. ස්ත්‍රිය කියන්නේ, පාපිෂ්ඨ සත්ව කොට්ඨාසයක් බව අවධාරණය වෙනවා. කුස ජාතකයේදී සඳහන් කරන්නේ,
“මේ මාතුගාමයෝ නම් පවිටු සත්ව කෙනෙක, ඔවුන් කෙරෙහි පිළිබඳ සිත් හැර ශාසනයෙහි ඇලී වාසය කරව”
ආදි වශයෙන්. මෙහෙම සඳහන් වුණ පමණින් ඒ අදහස බාරගැනීම යථාර්ථ නිරූපණය වෙන්නේ නෑ. ඒ බව මතු වෙන්නේ කොහොම ද කියලා විමසා බැලීමයි අවශ්‍ය. කුස ජාතක කතාව ගැඹුරින් කියවා බලන කෙනකුට පෙනෙන්න ගන්නවා, කුස නමැති සියුම් සංවේදී පුද්ගලයාගේ මනස විකෘතභාවයට පත්වෙන්නේ ඇයි කියලා.
ඔහුගේ හැසිරීම් සාධාරණයි නේද කියලා පෙනෙන්න ගන්නවා. අන්තිමට පාඨකයාට වැටහෙනවා මේ සිදු වෙන කිසි දෙයකට රූමත් පබාවතිය වගකිව යුතු නැති බව. ඇගේ සාධාරණත්වය අවධාරණය වෙනවා. සක්‍ර දෙවියන්ගේ උදව් පවා ලැබෙන්නේ කුස රජුට.
පබාවතිය සමාජ බලවේගවල ගොදුරක් වෙනවා. ඇයට සිද්ධ වෙන්නේ, පරණ ජීවිතයටම තල්ලු වෙන්න. මේ ස්ත්‍රී පීඩනය බුද්ධිමත් පාඨකයා ප්‍රශ්න කරනවා. පබාවතියට මේ දේ වෙන්නේ ස්ත්‍රී පවිටුකම නිසා නොවන බව වැටහෙන්න ගන්නවා. අන්න එතැනයි යථාර්ථ නිරූපණය තියෙන්නේ.
අන්ධභූත, සම්බුලා, මාතංග වගේ ජාතක කතාවල මේ ස්ත්‍රී පීඩනය නිරූපණය වෙනවා. ඒවා මතුපිටින් බැලුවාම ව්‍යාජ දෘෂ්ටිවාද එක්ක වෙළිලා තියෙන්නේ. සහෘදභාවයෙන්, රසිකත්වයෙන් තොර මිනිස්සු අල්ල ගන්නේ අර දෘෂ්ටිවාදයයි. එහෙම බලලා තමයි කියන්නේ, ජාතක කතා හුදු උපදේශාත්මකයි කියලා. ගැඹුරු යථාර්ථය පෙනෙන්නට ගන්නේ මේ ව්‍යාජ දෘෂ්ටිවාද බැහැර කළාට පසුවයි.”
• මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි නිර්මාණකරුවන් මේ කාරණය සම්බන්ධව සාධාරණය ඉටු කළා නේද?
“ඔව්. මනමේ, සිංහබාහු වැනි නාට්‍යවලදී සරච්චන්ද්‍රයන් අර පැරැණි දෘටිවාදය බැහැර කළා. එහිදී ප්‍රශ්න කෙරෙන්නේ, ස්ත්‍රියගේ පවිටු බව වෙනුවට සාධාරණත්වයයි. මනමේ පමණක් නොවෙයි සිංහබාහු නාට්‍යයේ වුවත් කරන්නේ ඒ දේ. සාම්ප්‍රදායික මතය ගොඩනැගෙන්නේ, සුප්පා දේවි රාගාධික කාන්තාවක් හැටියට. ඒත්, මේ මතය සරච්චන්ද්‍රයන් උඩුයටිකුරු කරනවා. සිංහබාහු නාට්‍යයේ මතු වන සුප්පා දේවිය දයාබර බිරිඳක්, මානුෂික හැඟීම්වලින් යුතු මවක්.”
• සාහිත්‍ය නිර්මාණයක ඇති යථාර්ථ නිරූපණය තේරුම්ගත හැකි රසික පිරිසක් සමාජයට අවශ්‍ය වන්නේ ඇයි?
“නිර්මාණයක යථාර්ථය තේරුම් ගැනීමට සහෘදයෙක් වෙන්න ඕනෑ. ඔහු සාමාන්‍ය පාඨකයෙක් නොවෙයි. ඊට වඩා ගැඹුරු අන්දමින් කලා නිර්මාණ සේවනය කරන කෙනෙක්. ඔහුට වැඩිදියුණු කරපු මානසිකත්වයක් ඕනෑ.
සමාජයේ වගකීමක් තියෙනවා මිනිසා ඒ සඳහා සූදානම් කිරීමට. එය පැති කිහිපයකින් කරන්න පුළුවන්. එකක් තමයි, නිර්මාණාත්මක දායකත්වය. ලෙස්ටර් ජෙම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර සිනමා නිර්මාණවලින් මේ කාර්යය කළා. ජනතාව මේවා බලලා විඳලා සංවාද ගොඩනැගුවා. මේ දේවල් නොවුණා නම් අද තත්ත්වය කුමක් ද?
ඊළඟ වැදගත් කාරණය තමයි, අධ්‍යාපනය. ඒත්, මේ විභාගවලට දරුවන් හුරු කරන ආකාරයට සාහිත්‍යයේ යථාර්ථය තේරුම් ගන්න ඉඩක් ලැබෙන්නේ නෑ. උපමා රූපක හරඹ විතරක් උගන්නලා සාහිත්‍යයේ ගැඹුර හා හරය කියලා දෙන්න බෑ. අද වන විට උපාධිධාරීන් කොච්චර රටේ බිහි වෙලා ඉන්නවා ද? ඒත්, රටේ රසඥතාව වර්ධනය කරන්නට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් ද? විභාගයට කටපාඩම් කරලා සාහිත්‍යය ඉගෙන ගන්න බෑ. මේ සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි.”