’දන්නෝ බුදුන්ගේ’ ජාතික උරුම ගීතයේ පසුබිම් කතාව


මෙ රට ජනප්‍රියතම කලාංගය ගීතය යැයි කිම වරදක් නොවේ. සමාජයේ සියලු දෙනා එකසේ රස විඳුනා කලාංගය ද ගීතයමය. සාහිත්‍ය-සංගීත යන කලා දෙකෙහි සමවායයෙන් උපදනා එය හද මනස දෙකම අලළන කලාංගයෙකි. එ වුවද එය සාමාන්‍යයෙන් මෙතරම් ම ප්‍රචලිත වැ ඇත්තේ බොහෝ සෙයින්ම සංගීතයෙහි රසය නිසා බව පැහැදිලි වැ පෙනේ.

‘ගීත’ යන වාදන ද එ නමින් ගැනෙන කලාංගය ද ඉතා පුරාතන අවධියෙහි පටන් මෙ රට පැවැති බවට අට්ඨකථා සාහිත්‍යයෙනුදු සාක්ෂ්‍ය ලැබේ. එ වුවද නූතනයේ ගීත නමින් හඳුන්වන කලාංගය එ තරම් දිගු ඉතිහාසයක් ඇතැයි කිව හැකි නොවේ.

එ ගැන මනා වැ විමසා බැලූ වියතුන් දක්වන පරිදි නම් නූතන ගීතය ප්‍රභව වී ඇතියේ ‘නාඩගම්’ නමැති රංග විශේෂය ආශ්‍රයෙනි. නාඩගම වනාහි සංගීත හා අතිශයින් මිශ්‍ර වැදගත් රංග විශේෂයෙකි. දක්ෂිණ භාරතයෙහි ප්‍රභව වූවකැයි හැගෙන නාඩගමෙහි සංගීතය ද එ පෙදෙසටම අයත් වූවෙකි. කර්ණාටක සංගීතය එහිලා බෙහෙවින් යොදා ගැනිණැයි කියැවේ.

නාඩගම මෙ රට පවතිද්දී ම අතිශය ජනප්‍රියත්වයට අනෙක් රංග විශේෂයකුදු පහළ විය. ඒ ‘නූර්ති’ නම් නාටක වර්ගයයි. මේ නූර්ති යනු ‘නෘත්‍ය’ යන සංස්කෘතික වචනයෙන් තැනුණු අපශබ්දයකැයි සැලැකෙන නමුදු ඒ රංග විශේෂය මෙන්ම එ නම ද බොහෝ ජනප්‍රිය විය. නූර්තිය ද සංගීතය හා බෙහෙවින් මිශ්‍ර වූ රංග විශේෂයෙකි. එහි දු ගීත මහත් සංඛ්‍යාවක් ඇතුළත් විය.  ඒ වුවද ඒ උත්තර භාරතීය සංගීතය ආශ්‍රයෙන් තනන ලද ගීත විය.

නූර්ති නාටකයෙහි සමාරම්භකයා ලෙස දැක්වෙන්නේ සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර නම් නාට්‍ය නිර්මාතෘවරයායි. හෙතෙමේ වනාහි නාට්‍ය නිර්මාණයෙහි මතු නොව තවද විෂය ගණනාවෙක මහත් නිපුණතාවක් දැක්වූ විශිෂ්ට පුද්ගලයෙකි. ඔහු ගේ ‘රොලීනා’ සිංහලයෙන් තැනුණු ප්‍රථම නූර්තිය ලෙස විද්වතුන් විසින් සලකනු ලැබේ. බස්තියන් මහතාගේ (නූර්ති) අනුප්‍රාප්තිකයන් වූවෝ ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස්, බෝධිපාල ආදිහුයි.

ඔවුන් අතර ප්‍රමුඛයා මෙන්ම සිංහලයේ විශිෂ්ටතම නූර්ති නිර්මාපකයා ලෙස සම්භාවනාවට පාත්‍ර වූයේ මාකලන්දාවගේ ජෝන් ද සිල්වාය. ඔහු නිමැවූ නූර්ති නාටක මෙන්ම එහි ඇතුළත් වූ ගීද අතිශය ජනප්‍රිය භාවයට පත් විය. ඔහුගේ ප්‍රබන්ධවල මධුර භාවය, උත්තර භාරතීය සංගීතය මනාවැ දත් සංගීතඥයන්ගේ මධුර තනුවෙන් ද සංගීතයෙන් ද යුක්තවීම, මෙ රට රසඥතාවට මැනැවින් ගැළැපීම වැනි කරුණු ගණනාවක් ඒහිලා හේතු විණි යි සැලැකිය හැකිය.

ජෝන් ද සිල්වා නිමැවු නූර්ති අතරින් වෙස්සන්තර, සිරිසඟබෝ, ශ්‍රී වික්‍රම, දුටුගැමුණු, රත්නාවලී ආදිය අතිමහත් ජනසම්භාවනාවට පාත්‍ර වූ අයුරු පෙනේ. ඉනුදු සිරිසඟබෝ වඩාලාත් වැදගත් වන්නේ එහි ඇතුළත් එක් ගීතයක් නිසායි.

ඒ ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය යි. සිරිසඟබෝ නාටකයෙහි දැක්වෙන පරිදි, මහියංගණයේ සිට පැමිණෙන, සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන කුමාරයෝ මේ ගීතයෙහි ඇති (අන්තරා) කොටස් තුන පිළිවෙළින් ගයති. මෙහිලා වෙසෙසින් විමැසිය යුතු වන්නේ මේ ගීතය මෙ තරම් ජනප්‍රිය වැ ඇත්තේ කවර හෙයින් ද යනුයි.

සංගීතය අතින් ගත් කල, බෙහෙවින් මන බඳනා තනුවක් මේ ගීතයෙහි ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙයට පදනම් වැ ඇත්තේ උත්තර භාරතීය සංගීතයෙහි එන පහාඩි රාගය යි (ජෝන්ද සිල්වා සිය නාටක ග්‍රන්ථවල එක් එක් ගීතයට අදාළ රාග තාල ඒ ගීත  සමාගම දක්වා ඇත) ජන සම්ප්‍රදායයක් සේ ද සැලැකෙන ථුම්රි නම් සම්ප්‍රදායයට අයත්  පහාඩි රාගය කෙරේ උත්තර භාරතීය සංගීතයේ නිපුණයන් එ තරම් අවධානයක්  නොදක්වනුදු ජෝන් ද සිල්වා නිමැවූ නාටකවල දී ගී තනු නිමැවීමට එය නොයෙක් විට යොදාගනු ලැබ ඇත. මේ ගීතයෙහි යෙදෙන්නේ මිශ්‍ර පහාඩි රාගයයි (පහාඩි රාගය පදනම් කොට ගැනුණු තවත් සුප්‍රකට ගීතයක් නම් සුනිල් සාන්තයන්ගේ මේ හෝපලු වනයේ’ ගීතයයි)

දන්නෝ බුදුන්ගේ ගීතයෙහි මනරම් තනුව නිමවනු ලැබ ඇත්තේ විශ්වනාත් ලව්ජි නම් භාරතීය සංගීතඥයා විසිනි. ඔහු හැම විටම ගීතයෙහි අදහසට ගැළැපෙන රසයක් ඉපැදැවිය හැකි රාග තාල භාවිතයෙන් තනු නිමැවීමට උත්සුක වූ බව ඔහුගේ වෙනත් ගීතවලිනුදු පෙනේ. මෙහිදු මුඛ්‍ය වන ශාන්ත රසය උද්දීපනය වන පරිදි පහාඩි රාගය පදනම් කොට තනුව නිමවා ඇත්තේය.

ස්වකීය නාටකවල දී, පළවූ වැ සංගීතඥයා ගෙන් තනු (රාගතාල) නිමවාගෙන එයට ගැළැපෙන පරිදි ගීත ප්‍රබන්ධ කිරීම ජෝන් ද සිල්වා පිළිගත් ක්‍රමය විය. එ අනුව මෙද විශ්වනාත් ලව්ජි විසින් සාදන ලද තනුව අනුව ඔහු විසින් කැරුණු ප්‍රබන්ධයෙකි. මේ ක්‍රමයෙහි වන එක් යහපතක් නම් තනුවට ගැළැපෙන පරිදි ප්‍රබන්ධය විකෘත නොවීම යි. එ වුව ද නිදහසේ ස්වකීය ප්‍රබන්ධය කිරීමට රචකයාට ඇති ඉඩ එයින් ඇවිරේ.

සමාජයේ ප්‍රචලිතවැ ඇති මතකයක් නම් වෝල්ටර් ස්ටැන්ලි නම් පූජකවරයා කිතුනු දෙව්මැදුරුවල ගැයුමට තැනූ ලංකා ගීතිකාව (Hymn of Ceylon) අනුව දන්නෝ බුදුන්ගේ ගීතය තනා ඇතිය යනුයි. මේ ගීය 1903 දී නිමැවුණු සිරිසඟබෝ නූර්තියට අයත් වන හෙයිනුත් යට කී ගීතිකාව ලියු පූජකවරයා ලක්දිවට පැමිණ ඇත්තේ ද 1906 දී වන හෙයිනුත් එ මතය නිකම්ම බිඳ වැටේ ඒ වුවද, මේ ගීතයෙන් එකී ගීතිකාව ආභාසයක් ලදනයි සිතිය හැකියි.

ගීත ප්‍රබන්ධය අතින් ගත් කල්හි ජෝන් ද සිල්වා ලියූ බොහෝ ගීතවල ඇති ලක්ෂණ මෙහි දු දක්නා ලැබෙන බව පෙනේ. එ බදු ලක්ෂණ අතර දු සංස්කෘත පද බෙහෙවින් මිශ්‍ර වූ භාෂා ව්‍යවහාරය, කට වහරේ යෙදුම් ප්‍රසාද ගුණය හෙවත් වහා අරුත් වැටැහෙන බව, සිංහල පද්‍ය සම්ප්‍රදායෙන් ආභාසය බෙහෙවින් ලැබීම ස්වභාවෝක්තිය භාවිත කිරීම ආදිය ප්‍රමුඛ වෙයි.

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයෙහි දු, සංස්කෘත වචන බහෙවින් යෙදී ඇති සැටි ‘ධර්මස්කන්ධා’ ‘ක්ලේෂ’ ‘භික්ෂු’ ’ශාසන’ ‘රශ්මිය’ ’භංගේ’ ‘පුෂ්ප’ ආදියෙන් පෙනේ. ඒ අතර කට වහරට නැඹුරු වූ සැටි ‘සොඳ සීලේ එර්ධියෙන්’ ආදියෙන් පෙනේ. ‘භූ ලෝ’ වැනි යෙදුමක් එතරම් ව්‍යක්ත ලෙස සැලැකිය හැකි නොවේ.

යට කියැවුණු ඇතැම් දුර්වලතා ඇතද සිංහල පොදු ජන සමාජයෙහි රස මනස ඇලැළීමට, හදවතෙහි මහත් වත්සලතාවක් ඇති කිරීමට මේ ගීතය සමත් වැ ඇත. බස් වහරෙහි ඇතැම් නොසියුම් තැනුදු නො සලකා සියවසකටත් වැඩි කාලයක් මෙය මෙ රට සමාජයෙහි රස වින්දනයට එක  සේ පාත්‍ර වැ තිබීම ම එයට සාධක වෙයි. දයානන්ද ගුණවර්ධනයන් පවසන අයුරින් මේ ගීය සිංහල බෞද්ධයකු තුළ පමණක් නොව අන්‍ය ලබ්ධිකයකු හෝ ජාතිකයකු හෝ තුළ පවා රස ජනනය කිරීමට සමත්වේ. ඒ අනුව මෙය කලාත්මක මාර්ගයෙන් සමස්ත ජනයා එකමුතු කළ නිර්මාණයකැයි දැක්විය හැකිය.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසිනුදු වගතුග තීරු ලිපියක් මගින් ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයෙහි විශිෂ්ට මනරංජන භාවය මහත් සේ අගය කරනු ලැබ ඇත. වඩාත් සවිස්තර වැ මෙ ගීය අගයන මහගම සේකරයෝ මෙහි භාෂා ව්‍යවහාරය, ප්‍රබන්ධ ලක්ෂණ, සංකේතාර්ථ, විශිෂ්ට අන්තර්ගත කාරණ මතු කොට විචාරයට ලක්  කරති.

මෙහිලා සැලැකිය යුතු තව ද විශේෂ කාරණයක් නම් මෙ ද ඇතුළත්වැ ජෝන් ද සිල්වා ලියූ ගීත පශ්චාත්කාලීන රචකයන් කෙරෙහි බලපා ඇති අයුරුයි. සිංහල ගීත කලාව ප්‍රවර්ධනයේ දී එහි බලපෑම මනා වැ දක්නා ලැබේ. විශේෂයෙන්ම ආනන්ද සමරකෝන් බඳු රචකයනට මේ ගීත මහත් සේ බලපා ඇති අයුරු එ හැම මනා වැ සසඳා බලන කල පෙනේ. සංස්කෘත මිශ්‍ර ශෛලිය, කට වහරට ඇතැම් තැන නැඹුරුව, ස්වභාවෝක්තිය ආදී සමරකෝන් රචනාවලද ප්‍රමුඛ ලක්ෂණය වේ. ඒ ඔස්සේ මානව සිංහයන් වැනි රචකයන්ට දු මෙ ගී එක්තරා දුරකට බලපෑ ඇතැයි කිම වරදක් නොවේ.

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයෙහි අන්තර්ගතය විමසා බැලීමෙනුදු ඉතා වැදැගත් කරුණු කිහිපයක් මතු වෙයි. මෙයින් වර්ණනා කැරෙනුයේ අනුරාධපුරයයි. අනුරාධපුර වනාහි සිංහල බෞද්ධ සභ්‍යත්වයේද සංස්කෘතියේද තෝතැන්නයි. එ හෙයින් එ මගින් ශ්‍රෝතෲත් තුළ ඇති කැරෙන ජාතික අභිමානය, දේශ වාත්සල්‍යය, සංස්කෘතික ප්‍රබෝදය අතිශය වැදැගත් කොට සැලැකිය යුතුය. එමතු ද නොව ජාතික ඉතිහාසයෙහි සුවිශිෂ්ටම අවධිය, ස්ථානය පිළිබඳව ලැබෙන දැනුම මෙන්ම හැඟුම ද වෙසෙසින් සැලැකිය යුතු වෙයි.

සංඝතිස්ස, සංඝබෝධි යන දෙදෙන විසින් ලබන මුල් (අන්තරා) කොටස් දෙකෙනුදු ‘දන්නෝ බුදුන්ගේ’ සහ (ස්ථායි) කොටසිනුදු මනාවැ පිළිබිඹු කැරෙනුයේ අනුරාධපුරය හා බෞද්ධාගමයේ සම්බන්ධතාවයි. ජාතික සංස්කෘතික ප්‍රවර්ධනය හා ආගමික සාධකය හා අතර අවියෝජනීය සම්බන්ධතාව මෙයින් විවරණය වේ.

ජාතික ගීයක් බිහි වීමට පෙර එ බන්දෙක අවශ්‍යතාව ඇති බොහෝ විට දන්නෝ බුදුන්ගේ ගීය ඒ සඳහා යොදාගැනුණු බව ඉතා ප්‍රකට කාරණයකි. ඒ මතු නොව, ජාතික උත්සව, මංගලෝත්සව ආදි බොහෝ තන්හි ජාතික ගීය හා සමානවැ මෙන් මෙද අදත් භාවිත වේ. කිතුණු දෙව්මැදුරුවල පවා මෙම තනුව වැයීමෙන් පැහැදිලි වනුයේ මෙය ජාති ආගම මර්යාදා අතික්‍රමණය කළ සුවිශිෂ්ට ගීතයක් බවයි. මේ හා සමාන වැ ජන මනසෙහි කිඳාබැස අන්‍ය ගීතයක් ඇතැයි කිව නොහැකිය.

මෙ බඳු සියලු කරුණු සලකා බලා, මෙය ජාතික උරුමයක් ලෙස නම් කරනු ලැබීම ඉතා වැදගත් වූ ද, දුර දක්නා සුලු වූද, උත්කෘෂ්ට කාර්යයක් බව කිව යුතු වෙයි. අස්පර්ශනිය (භෞතික වැ ස්පර්ශ කළ නොහැකි) කලාංගයක් ජාතික උරුමයක් බවට පත් ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

මේ වනාහි මෙරට ප්‍රමුඛ සංස්කෘතියට කැරුණු මහත් ගෞරවයක් කොට සැලැකිය හැකි කරුණෙකි. එ මෙන්ම ඉතා වටිනා පුර්වාදර්ශයෙකුද වෙයි. දේශයෙහි ජාතියෙහි අභිවර්ධනයට අතිශයින් හේතු වන සංස්කෘතික විඥානයෙහි ප්‍රගමනය සලසන කාරණයක් ලෙසද මෙය ඉතා අගනේය.


ශ්‍රීනාත් ගණේවත්ත