’වින්දනයක් නැති නිර්මාණ නිර්දේශ කිරීමෙන් දරුවන්ට සාහිත්‍යය එපා වෙනවා’


මගේ රටට දළදා හිමි සරණයි, ඔබ ඇසේ මුදු පහස, පෙර දිනයක මා පෙම් කළ යුවතිය, අනෝතත්ත විල නෙළුම නෙළාලා, ඇතුළු අමරණීය ගීත රැසක් සිංහල ගීත සාහිත්‍යයට දායාද කළ ප්‍රවීණ ගීත පද රචක සුනිල් සරත් පෙරේරා මහතා අප අතර සිටින ප්‍රතිභා සම්පන්න නිර්මාණ රචකයෙකි. විචාරකයෙකි, කවියෙකි. කෘති රැසක් මෙරට සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ ලේඛකයෙකි. සුනිල් සරත් පෙරේරා මහතාගේ නවතම කෘතිය ‘‘මතක නිම්නය’’ නමින් පසුගියදා එළි දුටු අතර මේ සංවාදය ඔහු සමග පැවැත්වෙන්නේ එය නිමිති කොටගෙනය.

• ඔබ වරින්වර ලියූ ශාස්ත්‍රීය ලිපි එකතුවක් මේ අයුරින් කෘතියකට නැගීමට කල්පනා කළේ ඇයි?

බොහෝ දෙනකු මට කලක සිට කළ යෝජනාවක් තිබුණා මගේ ආත්ම කතාව ලියන්නැයි කියා. ඒත් මා කල්පනා කළා එවැනි මුල මැද අග කතාවක් ලියනවාට වඩා මෙබඳු ලිපි පෙළකින් පාඨකයාගේ නොබිඳෙන අවධානය දිනාගන්න පුළුවන් වේවි කියලා. අනික් පැත්තෙන් කෙනෙකුට මගේ ජීවිතය හා නිර්මාණ විමසීමට අවශ්‍ය නම් එවැනි විමසා බැලීමකට මේ ලිපි උපකාර වේවි යැයි මම කල්පනා කළා.

මේ ලිපිවලට බොහෝ විට පදනම් වන්නේ මගේ අත්දැකීම් සහ දේශාටන වාර්තා ආදියයි. එය පාඨකයාට වඩාත් ප්‍රයෝජනවක් වේවි කියලා මම හිතනවා. මේ ලිපි ගැන අදහස් පළ කළ මහාචාර්ය අශෝක ප්‍රේමරත්න, මහාචාර්ය විමල් දිසානායක, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, ශ්‍රීනාත් ගණේවත්ත වැනි අය කියා තිබුණේ මානව විද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය ආදි විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැදගත් මැදිහත්වීමක් මෙයින් සිදුවන බව.

• මේ ලිපි මාලාවෙහි දැකිය හැකි එක් විශේෂත්වයක් වන්නේ ඒවායේ ඇති පර් යේෂණාත්මක ගුණය සහ සර්වකාලීන අගයයි. තීරු ලිපි රචකයකුට මෙයින් ලබාගත හැකි ආදර්ශ බොහොමයක් ඇති බවයි අපගේ වැටහීම. ඔබ මේ පර් යේෂණ ලිපිවලදී වැඩි අවධානයක් යොමු කළ ඉසව් ගැන දැන ගන්න කැමතියි.

මේ සඳහා විවිධ ක්ෂේත්‍ර වෙත මාගේ අවධානය යොමු වුණා. සිරිලක ලන්සි ජන පුරාණය, ටිකක් කියා හුඟක් හඟවන හයිකු කවිය, මගේ ගීතවල ඇතැම් අත්දැකීම්, දාර්ශනික ඉරාන කවි කලාව, චීන ජනකවියෙන් අපට ලැබුණ මඟපෙන්වීම, මහගම සේකර දර්ශනය, දෙනිපිටියේ නුගරුක සහ තවත් කාරණා මේ ලිපි සඳහා පදනම් වෙනවා. 

මේවායේ අන්තර්ගතය ගැන පැවසීමට එක් උදාහරණයක් ගත්තොත්, අපි ජපන් හයිකු කවිය ගැන අසා දැන බොහෝ දෑ කතා කරනවා. මා ජපානයට ගිය අවස්ථාවල හයිකු කවිය ගැන කරුණු සොයා බැලුවා.

බොහෝ දෙනා උත්සාහ කරනවා නිර්මාණයේ සංක්ෂිප්ත ගුණය මත පිහිටා එය හයිකු සම්ප්‍රදායට බද්ධ කරන්න. ඒත් හයිකු කවිය ඊට වඩා වෙනස් පදනමක් සහිත වූවක්. හයිකු කවිය පද පේළි තුනක් සහිත වූවක් බව පෙන්වීමට ඇතැමුන් උත්සාහ ගත්තත් එහි පද පේළි හතරක් හඳුනාගන්න පුළුවන්. මෙහි ප්‍රධාන ලක්ෂණය තමයි ටිකක් කියා හුඟක් හැඟවීම. ඊට සෙන් බුදු දහමේ යම් බලපෑමක් ලැබී ඇතැයි සිතන්න පුළුවන්.

මේ ලිපිවලදී මම කළෙත් ටිකක් කියා හුඟක් හැඟවීමක්. මේ ගැන අධ්‍යයනය කරන කෙනෙකුට එය යම් ප්‍රවේශ මාර්ගයක් කරගන්න හැකි වේවි. ඔබ කිව්වා වගේ කිසියම් පර් යේෂණාත්මක දෘෂ්ටියකින් මේවා ලියැවෙන්නේ තව කෙනෙකුගේ අධ්‍යයනයකට අත්වැලක් හැටියටයි. 

• ඔබේ ශාස්ත්‍රීය – පර් යේෂණ ලිපිවල පමණක් නොව නිර්මාණාත්මක කාර්යයේදීත් කැපීපෙනෙන එක් ලක්ෂණයක් වන්නේ භාෂාත්මක අපූර්වත්වයයි. නිර්මාණ රචකයකුට මේ භාෂාත්මක ශික්ෂණය වැදගත් වන්නේ කොහොමද?

සාහිත්‍යයේදී මූලිකම පදනම වෙන්නෙ භාෂාවයි. නිර්මාණ රචකයකුට එය විශේෂයි. ගීත සාහිත්‍යයේදී මා කළ භාෂාත්මක අත්හදා බැලීම් මහාචාර්ය විමල් දිසානායක ඇතුළු බොහෝ දෙනකුගේ අවධානයට යොමුවී තිබුණා. එය සතුටට කරුණක්. පඨනයේදී ඉතාම වැදගත් වෙන්නෙත් භාෂා භාවිතයේ පවත්නා අපූර්වත්වය බව අප තේරුම්ගත යුතුයි. කෙනෙකුට රසවිඳීමේ හා කියැවීමේ රුචිය ඇති කිරීමට එය විශේෂයෙන් බලපානවා.

පද්‍යයක පමණක් නොව ගද්‍යයක පවා භාෂා භාවිතයේ යම් යම් කාව්‍යාත්මක ලක්ෂණ මතුවීමෙන් තමයි එහි අපූර්වත්වය බිහිවන්නේ. ඒ කාව්‍යාත්මක බව සහ ගීතාත්මක බව තම භාෂා භාවිතයේදී මතු කරගන්න  නිර්මාණ රචකයා නිතරම උත්සාහ ගන්න ඕනැ. එහි ඇති අගය පිළිබඳ විශ්වවිද්‍යාල හා පාසල් දරුවන්ට තේරුම් කරදීම සහ එහි අවශ්‍යතාව, වටිනාකම කියාදීම තමයි වැදගත් වෙන්නෙ.
ඒ හැදෑරීම හරහා ගද්‍යයේ පවත්නා කාව්‍යාත්මක ලක්ෂණ මොනවාද? පද්‍යයේ ඇති කාව්‍යාත්මක ලක්ෂණ මොනවාද යන්න තේරුම් ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඔෟ චිත්‍ය ගුණය හඳුනා ගැනීම තමයි මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ.

• ඔබ මේ කියන භාෂාවේ ඖචිත්‍ය ගුණය මතුකර ගැනීමට නම් ආධුනික නිර්මාණ රචකයන් කෙබඳු අධ්‍යයනයකද නිරත විය යුත්තේ?

මූලිකම දේ තමයි අධ්‍යයනය. භාෂාවේ ඇති රිද්මීය ගුණ හඳුනා ගැනීමට නූතන නිර්මාණ පමණක් නොව විශේෂයෙන් පුරාතන සම්භාව්‍ය ගද්‍ය – පද්‍ය සාහිත්‍ය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය වෙනවා. ගද්‍ය හෝ වේවා පද්‍ය හෝ වේවා භාෂාවක් පිටුපස්සෙ සංගීතයක් තියනවා. ඒක කෙනෙකුට සියුම්ව තේරුම්ගන්න පුළුවන් නම් ඔහුගේ නිර්මාණාත්මක වෑයම වඩාත් සාර්ථක කරගන්න පුළුවන්. සුනිල් ශාන්ත වැනි අය භාෂාවේ සංගීතයක් ඇති බව විශ්වාස කරමින් තමයි නිර්මාණ කළේ.

පද්‍යයකදී කිසියම් විරිතක් මත ඒ සංගීතමය ගුණය මතුවනවා පමණක් නොව පද්‍යයකදී පවා යම් හඬ රිද්මයක් භාෂාවේ ඇති බව වැටහෙන්න ඕනෑ. ඒක ඇතිවන්නේ නිකම්ම නොවෙයි. නිරන්තර පරිශීලනයත් එක්කයි. සම්භාව්‍ය සාහිත්‍යය පමණක් නොවෙයි අපේ ජන සාහිත්‍යය ඇතුළු භාෂාත්මක ඇසූපිරූ තැන් ගැන මනා හැදෑරීමෙන් මේක තේරුම්ගන්න පහසුයි.

මට මගේ බොහෝ නිර්මාණවලදී මේ කියන සම්භාව්‍ය සාහිත්‍යය මෙන්ම ජන සාහිත්‍යයද බෙහෙවින් උපකාර වුණා. උදාහරණයකට එරන්දතිය එනවා වගේ ගීතයක මේ ලක්ෂණ දෙකම ඇතුළත් වෙනවා. ඕනෑම සාහිත්‍ය නිර්මාණ කාර්යයකදී ඉතාම වැදගත් කරුණක් තියනවා. ඒ තමයි සම්මිශ්‍රණ ක්‍රියාවලිය. භාෂාත්මක සම්මිශ්‍රණය වගේම ස්ථානික සම්මිශ්‍රණයත් නිර්මාණයකදී වැදගත්. මේ සම්මිශ්‍රණයේදී අප අර කලින් කී භාෂාව පිටුපස ඇති සංගීතය තේරුම්ගත යුතුයි.

• නිර්මාණ රචකයකුට පොහොසත් භාෂාවක් ගොඩ නගා ගැනීමට නම් ඒ සඳහා ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය බව ඔබ කීවා. එහෙත් වත්මන් පරපුරට මේ අධ්‍යයනය මග හැරී ඇතැයි බොහෝ දෙනෙක් චෝදනා කරනවා නේද?

මේකට හේතු කීපයක් තියනවා. විද්‍යුත් මාධ්‍යයත් තාක්ෂණික භාවිතයත් එයින් එක් කාරණයක්. තරුණ පරපුරේ බොහෝ දෙනෙක් මේ කෙරෙහි ඇබ්බැහිවීමක් දැකිය හැකියි. පඨනය හා වින්දනය යනු කුමක්දැයි නිවැරැදිව තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි වැදගත් වෙන්නෙ. අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම අනාගත පරපුර තුළ එබඳු වින්දනයක් ඇති කිරීමට නම් උසස් රසයක් ලැබිය හැකි නිර්මාණ ඔවුන් වෙත සමීප කරවීමේ අවශ්‍යතාව තිබෙනවා.

පාසල් පෙළ පොත් සඳහා නිර්මාණ තෝරා ගැනීමේදී මේ කාරණය ගැන හොඳින්ම සිතා බැලිය යුතුයි. කඨෝර රස හීන නිර්මාණ ඒ සඳහා තෝරා ගත්තොත් දරුවන් සාහිත්‍යයෙන් තවදුරටත් ඈත් වෙනවා. දරුවන්ට සමීප කරන නිර්මාණවල භාෂාත්මක ලක්ෂණ ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. භාෂාව තුළින්ම රුචිකත්වය වර්ධනය කරන්න පුළුවන්. වින්දනයක් නැති නිර්මාණ දරුවන්ට නිර්දේශ කිරීමෙන් සාහිත්‍යය එපා කරවනවා.

ප්‍රවීණ ගීත පද රචක සුනිල් සරත් පෙරේරා

සංවාද සටහන ගාමිණි කන්දේපොළ