2024 ජනපතිවරණයට ට්‍රම්ප්


2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, එක් ජනාධිපතිවරයකුට ධුර දෙකක් සම්පූර්ණ කළ හැකිය. ට්‍රම්ප් ජනාධිපති ධුරය හෙබවූයේ එක් ධුර කාලයක් පමණි.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අදාල නෛතික ලියවිලි මේ වනවිට ෆෙඩරල් මැතිවරණ කොමිසමට බාර දී අවසන් බව ද ට්‍රම්ප් පැහැදිලි කර තිබේ. 2024 මැතිවරණයට ඉදිරිපත් වන බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණත්, ඔහු නිල වශයෙන් එය දැනුම් දුන් අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ට්‍රම්ප් පමණක් නොව, තවත් රිපබ්ලිකන් පක්ෂයෙන් අපේක්ෂකයන් කීප දෙනෙක් 2024 සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටිති. එම අපේක්ෂකයන් අතරේ ද තරගයක් පවතින අතර අවසානයේ තෝරා ගැනෙන්නේ එක් අපේක්ෂකයකු පමණි.‍

ට්‍රම්ප්ට අමතරව, සෙසු අපේක්ෂකයන් අතරේ, රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු වීමට ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩෙස්ටැන්ටිස්, හිටපු උප ජනාධිපති මයික් පෙන්ස්, ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට්, රිපබ්ලිකන් නියෝජිත ලිස් චෙනී සහ හිටපු එක්සත් ජාතීන්ගේ තානාපති නිකී හේලී සිටිති.

(ඒ.එෆ්.පී.)