උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සමුළුවේ 75 වැනි රාජ්‍ය නායක සැසිය ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී ආරම්භ වූ අතර, යුක්රේනය වෙනුවෙන් විශේෂ නියෝජිතයකු පත් කිරීමට ‘නේටෝ’ සංවිධානය තීරණය කළේය.
‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව සහ සෙසු යුරෝපා රටවල් එක්වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.
නේටෝ සංවිධානය යුක්රේනය වෙනුවෙන් විශේෂ නියෝජිතයකු පත් කිරීම, පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතුවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
වොෂින්ටන් අගනුවර පැවැත්වෙන ‘නේටෝ’ රටවල රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා, ‘නේටෝ’ 75 වැනි සමුළුවට, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට ඇරැයුම් කර ඇති අතර සෙලෙන්ස්කී ඊට සහභාගී වෙයි. රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට හැකි සෑම අයුරින්ම සහාය දක්වන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා යළි යළිත් තහවුරු කර ඇත.