ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙනස් කිරීමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
ඒ, අගනුවර වෙනස් කිරීම සම්බන්ධයෙන් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කරමින් ඡන්ද විමසුමක් පැවැත්වූ අවස්ථාවේදීය.
ජකර්තා අගනුවර අධික ජනගහනයක් වාසය කිරීම, පැය 24 පුරා අධික වාහන තදබදයක් පැවැතීම, වායු දූෂණය ඉහවහා යෑම සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු රැසක් මුල්කොට ගනිමින් අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ ය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව, ගිණිකොනදිග ආසියාවට අයත් දූපත් රාජ්‍යයක් වන අතර, එය පිහිටා ඇත්තේ ඉන්දීය සහ පැසිෆික් සාගරයට මැදිවය. දූපත් 17,000 ක් ඉන්දුනීසියාවට අයත් වන අතර, එයින් ප්‍රධාන දූපත් ලෙස සැලකෙන්නේ සුමාත්‍රා, සුලවේසී, ජාවාය. ඊට අමතරව, බෝනියෝ සහ නිව් ගිනියාවේ ද පළාත් ඉන්දුනීසියාවට අයත් වෙයි.
ඉන්දුනීසියාව යනු ලොව වැඩිම දූපත් එකතුවකින් නිර්මාණය වූ රාජ්‍යයයි. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270 කි.
වත්මන් අගනුවර ලෙස සැලකෙන ජකර්තා පිහිටා ඇත්තේ ජාවා දූපතේය. ඉන්දුනීසියාවේ දූපත් අතරින් වැඩිම ජනගහනයක් වෙසෙන්නේ ජාවා දූපතේ වන අතර, ඉන්දුනීසියාවේ විශාලතම නගරය වන්නේ ද ජකර්තා අගනගරයයි.
පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූයේ එරට අගනුවර බෝනියෝ දූපතේ ක්ලිමන්නාත් නමැති වනාන්තර ප්‍රදේශයට ගෙන යෑමටය. නව අගනුවර නුසන්තරා යන නමින් නම් කෙරෙනු ඇති බව ද පැවැසෙයි.
නුසන්තරා යන නමින් නව අගනුවර ඉදි කෙරෙනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 32 ක මුදලක් වැය කරමින් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)