ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමැතීය. ඒ, ඉන්දියාව එරට ජනගහනයෙන් බිලියනයකට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමත් සමඟය.
රටේ ජනගහනයෙන් බිලියනයකට එන්නත් ලබා දුන් ලොව දෙවැනි රාජ්‍යය ලෙස ඉන්දියාව සැලකෙයි. පළමුවෙන් බිලියනයකට එන්නත් දුන් රට වන්නේ චීනයයි.
ජාතිය ඇමැතූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි, එන්නත්කරණ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට ස්තුති කළේය. එන්නත් ලබා ගැනීමේ ඇති වැදගත්කම යළි සිහිපත් කළේය.
ඊට අමතරව, එන්නත් ලබා ගැනිමෙන් පසුවද යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද ජනතාවට උපදෙස් ලබා දුන්නේය.
ඉන්දියාවට එරට ජනගහනයෙන් බිලියනකට එන්නත් ලබා දීමට ගතවුණු කාලය මාස 9 කට වැඩිය. කෙසේ නමුත් දෙවැනි බිලියනයේ සිමාව පසු කිරීම මාස 3 ක් හෝ 4 ක් ඇතුළත සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව එන්නත්කරණ ජාතික වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය එන්.කේ. අරෝරා මාධ්‍ය හමුවේ පවසා තිබේ.
එන්නත් බිලියනයේ සිමාව පසු කරද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේ ආර්.එම්.එල්. රෝහලට ගොස් එම කටයුතු අධීක්ෂණය කළේය. එන්නත ලබා ගැනීමට කෝටි 130 ක ඉන්දීය වැසියන් උනන්දුවක් දැක්වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය මෝදි සිය සතුට පළ කළේය.
අද ඉන්දියාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සැලකිය ලෙස අඩුවී තිබේ. පසුගිය 15 වැනිදා සිට ඉන්දියාව විදෙස් සංචාරකයන්ට රට විවෘත විය. රට විදෙස් සංචාරකටන්ට විවෘත වීම සිදුවන්නේ ක්‍රමාණුකූලවය.
එන්නත් නියමිත පරිදි ලබාගත් විදෙස් සංචාරකයන්ට පැය 72 කට පෙර සිදු කරන 'කොවිඩ් 19' පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි. ලබන නොවැම්බර් 15 වනවිට තව තවත් විදෙස් සංචාරකයන්ට අවසර දීමට ඉන්දීය රජය බලාපොරොත්තු වෙයි.
(එන්.ඩී.ටීවී.)