අතුරුදන් ඇෆ්ගන් බබා හමුවෙලා


ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, කාබුල් ගුවන් තොටුපොළට රැස් වී, හමුදා ගුවන් යානාවලට ගොඩවීමට පොර කෑ, ඇෆ්ගන් සිවිල් වැසියන් අතරේ සිට, අතුරුදන් වූ මාස දෙකක් වයසැති සොහාලි පුතු යළි හමුවී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ අවසන් දින කීපයේය. එදා තලේබාන් පාලන ප්‍රතික්ෂේප කරමින්, ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට උත්සාහ ගනිමින්, කාබුල් ගුවන්තොටුපොළට රැස්වුණු දහස් ගණනක් ඇෆ්ගන් සිවිල් වැසියන් අතරේ සොහාලිගේ පියා මිස්රා අලී අහ්මද්, මව සුරායා සහ ඔවුන්ගේ අනෙක් දරුවෝ සිවු දෙනා ද වූහ.

ගුවන්තොටුපොළේ පැවැති කලබලය සහ තෙරපීම මැද පුංචි සොහාලි බාර ගෙන ගුවන් යානයට ගෙනියන්නැයි ආරක්ෂිත වැටේ සිට මීටර් කීපයක් ඔබ්බෙන් සිටි ඇමෙරිකන් සොල්දාදුවන්ට අලී අහ්මද් ආයාචනා කරන්න විය. සොහාලිගේ පියා අලී අහ්මද් කාබුල් ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ අයෙක් විය.

සොල්දාදුවන් ඊට කැමැත්ත පළ කළ අවස්ථාවේදී, පුංචි සොහාලි රැස්ව සිටි පිරිස අතරින් අතින් අත ගොස් ඇමෙරිකන් සොල්දාදුවන් අතට පත් විය. මෙම සිදුවීමේ දසුන් විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වූයේ ලොව කාගේත් ඇසට කඳුළක් එක් කරමිණි.

ගුවන් යානයට ගොඩවූ පසු යානයේ සොහාලි නොසිටි අතර, පියා අලී අහ්මද් සහ මව සුරායා එයින් කම්පනයට පත් වූහ. අලී අහ්මද්, බිරිඳ සහ සෙසු දරුවන් ගියේ ඇමෙරිකාවටය. සොහාලි වෙනත් ගුවන් යානයකට යැවෙන්න ඇතැයි සිතමින් ඔහු ගැන සොයා බැලූ නමුත් කිසිදු හෝඩුවාවක් නොලැබිණි.

කෙසේ නමුත් එදා කිසිවකු සොහාලි කිසිදු ගුවන් යානයකට රැගෙන ගොස් නොමැති බව මේ වනවිට අනාවරණය වී තිබේ. කලබලය මැද සොහොලි ගුවන් තොටුපොළේ හඬමින් සිටිද්දී 29 හැවිරිදි කුලී රථ රියැදුරකු, මාපියන් පෙනෙන්න නොසිටි බැවින්, සොහාලි කාබුල් නුවර සිය නිවසට රැගෙන ගොස් ඇත. හමීඩ් සාෆි නමැති මෙම තැනැත්තාට දරුවන් සිටින අතර, ඔහු සහ බිරිඳ සොහාලි දරුකමට හදා වඩා ගැනීමට තීරණය කර ඇත්තේ, මොහොමද් අබ්දේ යනුවෙන් නම් තබමිනි.

හමීඩ් සාෆි හඬමින් දරුවා දරුවාගේ සීයාට බාර දුන් අවස්ථාව ...

එදා ගුවන් තොටුපොළේ දී, රැස්ව සිටි පිරිස අතරින් අතින් අත ගොස් ඇමෙරිකන් හමුදා නිලධාරීන් අතර පත් වීමෙන් පසු රොයිටර්, බීබීසී ඇතුළු ලොව ප්‍රධාන පෙළේ විදෙස් පුවත් සේවා සොහාලි ගැන අවදානයෙන් පසුවුණු අතර, සොහාලි අතුරුදන් වූ අවස්ථාවේ පටන් ඔහු සෙවීමට සහාය පළ කළේ දරුවා ගැන පුවත් ප්‍රසිද්ධ කරමිනි. ඒ අනුව, හමීඩ් සාෆිගේ ෆේස්බුක් ගිණුමේ, ඔහුගේ දරුවන්ගේ ඡායාරුප අතරේ සොහාලි සිටින බව දැනගන්න ලැබුණි.

සොහාලිගේ සීයා මොහොමද් ක්වසාම් රසාවිට ජිවත් වන්නේ ඇෆ්ගනිස්තානයේ බඩක්ෂාන් පළාතේය. සොහාලි කාබුල් අගනුවර සිටින බව දැනගත් විට ඔහු කාබුල් බලා පැමිණ, තම මුණුපුරා ආපසු ඉල්ලද්දී, හමීඩ් සාෆි දරුවා බාරදීම ප්‍රතික්ෂේප කර ඇත. ඔහු පවසා ඇත්තේ තමා ඇතුළු තම පවුලේ සාමජිකයන්ට ඇමෙරිකා බලා යෑමට ඉඩ දෙන්නේ නම් පමණක් දරුවා ආපසු දෙන බවය.

සති ගණනක් තිස්සේ සාකච්ඡා කිරීමෙන් පසු තලේබාන් පොලිසිය මැදිහත් වී, දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ඇති කර ගැණුනු අතර දරුවා සියාගේ බාරයට පත් කෙරුණි. හමීඩ් සාෆි, සොහාලි සීයාට බාර දුන්නේ දෑස්වල කඳුළු පුරවා ගනිමින් යැයි එම අවස්ථාවේ ගත් ඡායාරූපවල දකින්න ලැබේ.

සොහාලි යළි හමුවීම, මේ වනවිට ඇමෙරිකාවේ මිචිගන් පදිංචි අලී අහ්මද් සහ මව සුරායාට සුබ ආරංචියක් වූ අතර, සොහාලි මිචිගන් ගෙන්වා ගැනීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් බව ද පැවැසෙයි.

(බීබීසී)