ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට රුසියාවේ ජාතික අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනය තීරණය කර තිබේ.
‘රොස්කොස්මොස්’ ආයතනයේ නව ප්‍රධානියා ලෙස කටයුතු කරන යූරි බොරිසෝව් මේ බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දැනුම් දුන් අවස්ථාවේදී ජනාධිපති පුටින් පවසා ඇත්තේ එය ඉතා හොඳ තීරණයක් බවය. යූරි බොරිසෝව්, ‘රොස්කොස්මොස්’ ප්‍රධානියා ලෙස එම තනතුරට පත් වූයේ පසුගිය මීට දින කීපයකට පෙරය.
අතීතයේ පටන් රුසියාව සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් සහ මත ගැටුම් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතුවලදී ඇමෙරිකාවේ ජාතික ගගන විද්‍යා පර්යේෂණ ආයතනය හෙවත් ‘නාසා’ ආයතනය සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ ආයතනය අතරේ සමඟියෙන් සහ සහයෝගයෙන් වැඩ කටයුතු සිදුවිය.
‘නාසා’ ආයතනයට හෝ ‘රොස්කොස්මොස්’ ආයතනයට හෝ දේශපාලනයක් මැදි නොවිණි. එහි ප්‍රතිඵලයක් වූයේ ලොව අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් බලවතුන් වූ රුසියාව සහ ඇමෙරිකාව එක් වී 1998 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමය.
අද චීනය හැර තවත් රටවල් බොහොමයක් අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වී සිටියත් ඇමෙරිකාවේ නාසා ආයතනයට සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ ආයතනයට අයත් කොටස් දෙකක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ඇතුළත් වෙයි. පසුගිය කාලයේ ඇමෙරිකන් ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑම සහ ආපසු ගෙන ඒම සිදුවූයේ රුසියානු ‘රොස්කොස්මොස්’ ආයතනයේ ‘සෝයූස්’ ගගන කැප්සියුල සහ රොකට්ටු ආධාරයෙනි.
‘රොස්කොස්මොස්’ ප්‍රධානී යූරි බොරිසෝව්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දන්වා ඇත්තේ, 2024 දී රුසියාව ජාත්‍යන්තර අභශවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වනු ඇති බවය. මේ සම්බන්ධයෙන් නාසා ආයතනය සිය කනස්සල්ල පළ කර තිබේ. රුසියාව 2024 දී අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව තමන්ට තවමත් නිල වශයෙන් දැනුම් දී නැතැයි නාසා ආයතනය පවසා තිබේ.
‘රොස්කොස්මොස්’ ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවමින්, රුසියාවට එරෙහි වීම සැලකිල්ලට ගනිමිනි.
(රොයිටර්)