අමන්දා සුළි කුණාටුවෙන් එල් සැල්වදෝරයේ 14 ක් මරුට


එල් සැල්වදෝරය හරහා හමා ගිය අමන්දා සුළි කුණාටුව හේතුවෙන් 14 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ගංවතුර, නායයෑම් හා ගස් කඩා වැටීම් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇත.

බොහෝ අලාභ හානි සිදුවී ඇති අතර කුණාටුවේ බලපෑම හේතුවෙන් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් මහතා කටයුතු කළේය.

ගංවතුරෙන් එල් සැල්වදෝරයේ නිවාස 200ක් පමණ විනාශ වී ඇති අතර 4 200ක පමණ පිරිසක් අවතැන් වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වසංගතය ද පැතිරෙමින් පවතින අවස්ථාවක සිදුවූ ව්‍යසන‍යෙන් බරපතල තත්ත්වයක් උදාවී ඇතැයි එල් සැල්වදෝර බලධාරීහු පවසති.

එල් සැල්වදෝරයේ කොරෝනා ආසාදිතයින් 2 517ක් වාර්තා වී ඇති අතර මරණ 46ක් සිදුවී තිබේ.

සුළි කුණාටුව මේ වනවිට දුර්වල වෙමින් ග්වාතමාලාව දෙසට ගමන් කරමින් පවතින බව කාළගුණ අංශ සඳහන් කරයි.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)