අල්ලා ගත් උණ්ඩ මිලියනයක් යුක්රේනයට දීලා


යේමනය බලා යත්‍රා කරමින් තිබුණු ඉරාන නැවක් වටලා සෝදිසි කිරීමේ දී භාරයට ගත් උණ්ඩ මිලියන 1.1 ක්, ඇමෙරිකන් රජය යුක්රේනයට ලබා දී තිබේ.

ඇමෙරිකන් නාවික හමුදාව, මෙම උණ්ඩ තොගය සිය භාරයට ගත්තේ පසුගිය වසරේ, දෙසැම්බර් 9 වැනිදාය. මධ්‍යධරණී මුහුද හරහා, උණ්ඩ තොගය රැගෙන යේමනය බලා යාත්‍රා කරමින් තිබුණේ ‘මර්වාන්’ නමැති නෞකාවය. උණ්ඩ ඉරානයේ නිපදවූ ඒවා යැයි අනාවරණය විය.

රුසියාව යුක්රේනයට ඓරහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සමීප වෙමින්, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩව සහ බටහිර යුරෝපා රටවල් එක් වී පිහිටුවාගත් යුද සන්ධානයයි.

රුසියන් හමුදාවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව පමණක් නොව, සෙසු බටහිර රටවල් ද යුක්රේන හමුදාවට අවි ආයුධ සහ උණ්ඩ ලබා දෙයි. මේ වනවිට උණ්ඩ නිෂ්පාදන කටයුතු ද බෙහෙවින් අඩු වී ගොසිණි. ඒ, ඉල්ලුමට සරිලන අන්දමින් සැපයුමක් නොමැති බැවිනි. ඇමෙරිකන් රජය,සිය භාරයට ගත් ඉරානයේ නිෂ්පාදිත උණ්ඩ යුක්රේනයට ලබා දී ඇත්තේ මේ නිසාය.