අවසන් පැය 24 තුළ ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 54,044 ක්


ඉන්දියාවෙන් අවසන් පැය 24 තුළදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 54,044 දෙනකු හඳුනාගත් බවත්, ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 76,51,107 ක් දක්වා ඉහළ ගිය බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන්නේ ද ඉන්දියාවයි. මේ වනවිට ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි. ඇමෙරිකා එක්සත් ජනපදය එහි මුල් තැන පසුවන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 8.2ක ඉක්මවයි.

අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වයිරස ආසාදිත මරණ 717ක් වාර්තා වූ බවත් ඒ අනුව වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 1,15,914ක් දක්වා ඉහළ ගිය බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

උත්සව සහ නිවාඩු සමය ඉදිරියේදී පැමිණෙන බැවින් ඉදිරියේදී වයිරස ආසාදිතයන් වාර්තා වීම වැඩිවනු ඇතැයි සෞඛ්‍ය අංශ මේ වනවිටත් අනතුරු අඟවා ඇත. හින්දු උත්සව දුර්ගා පූජා උත්සවය මේ මස පැවැත්වීමට නියමිත අතර දීපවාලි උත්සවය ලබන මස මැදදී පැවැත්වීමට නියමිතය.

මේ වනවිට ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන 7,40,090 ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 69,95,103කි.

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය වන්නේ මහරාෂ්ඨ ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 16,09,516කි. දෙවැනියට අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වයිරස ආසාදිතයන් 7,89,553 දෙනකු වාර්තා වී ඇත. ඉන් අනතුරුව කර්නාටක ප්‍රාන්තයෙන් 7,76,901 දෙනකු හා තමිල්නාඩු ප්‍රාන්තයෙන් වයිරස ආසාදිතයන් 6,94,030 දෙනකු අද පස්වරු වනවිට හඳුනාගෙන තිබිණි.

රොයිටර්ස්/එන්.ඩී.ටීවී.

055