ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔර්ලැන්ඩෝ නගරයේ වයස අවුරුදු දෙකක් කුඩා දරුවකු අත් වැරදීමකින් තම පියාට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පැවැසෙයි.උණ්ඩ පිරවූ පිස්තෝලයක් දරුවා අසල තිබී ඇති බවත් එම පිස්තෝලය අතට ගත් දරුවා මෙසේ පියාට වෙඩි තබා ඇති බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.
උණ්ඩ සහිත තුවක්කුවක් කුඩා දරුවකුට ගත හැකි පරිදි නොසැලකිලිමත් ලෙස තැබීම හේතුවෙන් දරුවාගේ මව වන 26 හැවිරිදි මාරි අයලාට මිනීමැරුම් චෝදනා ගොනු කර ඇත.
දෙමාපියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම සිදුවීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.911 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් මත ඔර්ලැන්ඩෝ පොලිසිය එම ස්ථානයට යන අවස්ථාවේ දරුවාගේ 26 හැවිරිදි මව වෙඩි වැදුණු පියාට කෘතීම ස්වසනය දෙමින් සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.
සිද්ධිය වූ අවස්ථාවේ පවුලේ සාමාජිකයන් 5 දෙනාම එම ස්ථානයේ සිට ඇති අතර ප්‍රශ්න කිරීමේදී වැඩිමහල් දරුවා තම බාල සොහොයුරා පියාට වෙඩි තැබූ බවට ප්‍රකාශයක් ලබා දුන් බව ඔර්ලැන්ඩෝ පොලිසිය පැවසුවේය.
දෙමාපියන් පිස්තෝලය සහිත බෑගය වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් සිටි දරුවා අසලින් තබා ගොස් ඇති අතර බෑගයෙන් තුවක්කුව ගත් කුඩා දරුවා පියාගේ පිටුපසට වෙඩි තබා ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.
මුලින් මියගිය පුද්ගලයා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන ඇති බව පොලිසිය විශ්වාස කලත් වැඩිමහල් දරුවාගේ ප්‍රකාශය සියල්ල වෙනස් කළ බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේය.දෙමව්පියන් දෙදෙනා අපරාධ චෝදනා කිහිපයකට වරදකරු වී ඇප මත නිදහස් වී සිටින අයවලුන් බව බලධාරීහු ප්‍රකාශ කළහ.
(එන්.ඩී.ටීවී.)