ප්‍රවීණ සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වාසනෙගර් පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී එම මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලැබුවාය.
74 හැවිරිදි, හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ද වන ආනොල්ඩ් සුළු තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අනතුර සිදුවී ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර සන්සෙට් බුලවාඩ් සහ ඇලෙන්ෆෝඩ් වීදිය අසලදීය.
කාන්තාවගේ හිසට තුවාල සිදුවී ඇති බවත් ඇය කඩිනමින් රෝහල්ගත කෙරුණු බවත් ලොස් ඇන්ජලීස් පොලිසිය පවසා ඇත. අනතුර සිදුවුණු සැණින් ආනොල්ඩ් එම කාන්තාවගේ පිහිටට ගිය බව ද වාර්තා වේ.
ඇමෙරිකන් පුරවැසියකු වුවත් ආනෝල්ඩ් උපතින් ඔස්ට්‍රියානුවෙකි. කායවර්ධන ශූරයකු ලෙස ජනප්‍රිය වී, හොලිවුඩයට පැමිණි ඔහු ක්‍රියාදාම නළුවකු ලෙස ලොව කාගේත් හදවත් දිනා ගත්තේය.
කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී රංගනයෙන් ඈත් වී සිටි ආනොල්ඩ් ආණ්ඩුකාර ධුරයට සමු දීමෙන් පසු යළි රංගනයට පිවිස සිටී.
(රොයිටර්)