‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ නිරෝධායනය වෙමින් සිය රාජකාරි කටයුතු සිදු කරන බව වාර්තා වේ.
තම රෝගී තත්ත්වය දරුණු නොවන බවත්, ධවල මන්දිර වෛද්‍යවරුන් තමන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් 79 හැවිරිදි ජනාධිපති බයිඩන් ට්විටර් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
බයිඩන් ජනාධිපති ධුරයට පත් වූයේ 2021 ජනවාරියේය. ඒ වනවිට ඔහු ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ‘ෆයිසර්’ එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගෙන තිබුණි. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් තෙවැනි සහ සිවුවැනි බූස්ටර් එන්නත් ද ලබා ගත්තේය.
ධවල මන්දිර වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව, බයිඩන්ට ‘ෆයිසර්’ සමාගම නිපදවා ඇති ‘පැක්ස්ලොවිඩ්’ ඔසුව ලබා දීම සිදුවෙයි. ‘පැක්ස්ලොවිඩ්’ යනු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීමට නිපදවා ඇති සාර්ථක ඖෂධයකි. ‘කොවිඩ් 19’ ආසාදිතයකුට ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය ලබා දුන් විට, වයිරසය සිරුර තුළ පිටපත් නිර්මාණය අඩපණ වෙයි. ඒ අනුව, ආසාදිතයා ඉක්මනින් සුවය ලබයි.
ජනාධිපති ජෝ බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු වුවත් සැමවිටම ඔහු අසලින් සිටින ඔහුගේ බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන්ට වයිරසය ආසාදනය වී නැති බවත්, ජිල් බයිඩන් ඇගේ සුපුරුදු කාලසටහනට අනුව රාජකාරි කරමින් සිටින බවත් ධවල මන්දිරය පවසයි.
(රොයිටර්)