ඇමරිකානු බ්ලොග්කරුවකු වූ අවිජිත් රෝයි ඝාතනය කිරීමට වරදකරුවන් වූ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක සාමාජිකයින් 5කට බංගලාදේශ අධිකරණය අද (16) මරණ දඬුවම නියම කර තිබේ.
ආගමික අන්තවාදය විවේචනය කිරීම හේතුවෙන් 2015 වසරේ පෙබරවාරි මාසයේදී අවිජිත් ඝාතනයට ලක්විය.
අවිජිත් බංගලාදේශ සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියෙකි.
"ඔවුන්ට එරෙහිව චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු වුණා. උසාවිය ඔවුන්ට ඉහළ ම දඬුවම ලබා දුන්නා" යනුවෙන් නඩු විභාගයෙන් පසු රජයේ නීතීඥ ගෝලාම් සර්වර් ඛාන් මහතා පැවසීය.
ඩකා නගරයේ පිහිටි විශේෂ ත්‍රස්ත විරෝධී අධිකරණයේ නඩු විභාගය පැවැත්වුණු අතර ඒ සඳහා දැඩි ආරක්ෂාවක් සලසා තිබිණ. ඝාතනයට සම්බන්ද වූ තවත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.
වරදකරුවන් වූ අය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමී කණ්ඩායමක් බව පොලිසිය පවසයි.
බංගලාදේශයේ බ්ලොග්කරුවන් හා ක්‍රියාකාරීන් 12දෙනකු පමණ ඝාතනය කිරීම පිටුපස මෙම කණ්ඩායම සිටින බව ද පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)