සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුධමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම සඳහා එවැනි දත්ත පරිශීලනය අත්‍යාවශ්‍ය වේ.
අද (27) දිල්ලියේ පැවැති ඉහල මට්ටමේ සාකච්ඡා වලින් පසුව මෙම ගනුදෙනුව පිළිබඳ තොරතුරු නිවේදනය කරන ලදී.
චීනය සහ ඉන්දියාව අතර පවතින දැඩි දේශසීමා ගැටුම් මැද ඇමරිකාව සමග මෙවැනි ගිවිසුමකට යෑම කලාපයේ චීනයේ බලපෑමට එරෙහි වීමක් බව විචාරකයෝ පවසති.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්ක් එස්පර් සිය ඉන්දියානු මිත්‍රයා වන රජ්නාත් සිං සමග සාකච්ඡා පැවැත්වූ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවිය.
"පසුගිය දශක දෙක තුළ අපගේ ද්වීපාර්ශවීය සබඳතා ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. එමනිසා ජාතික ආරක්ෂාව සම්බන්දව වඩාත් තීව්‍ර ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත." යැයි ජයශංකර් මහතා පැවසීය.
න්‍යෂ්ටික බලශක්තිය, විකල්ප වෛද්‍ය විද්‍යාව හා භූ විද්‍යාව යන ක්ෂේත්‍ර වල වෙනත් ගනුදෙනු රාශියක් සඳහා ද දෙපාර්ශවය අත්සන් තැබූහ.
බීබීසීය පවසන්නේ මෙම ගනුදෙනුව ඉන්දියාව සහ ඇමරිකාව සිය යුධමය සබඳතා ගැඹුරු කිරීම සඳහා තැබූ ඉදිරි පියවරක් බවයි. ඉන්දියාව ලෝකයේ ආරක්ෂක උපකරණ විශාල වශයෙන් මිලදී ගන්නා රටක් නමුත් එයින් 60% - 70% අතර ප්‍රමාණයක් මිලදී ගන්නේ රුසියාවෙනි. මේ වෙළඳපොල ඇමරිකාව දෙසට නැඹුරු කිරීම ද සාකච්ඡාවේ අරමුණක් විය.
කොරෝනා වසංගතය මධ්‍යයේ සහ ඇමරිකාවේ මැතිවරණයට සතියකට පෙර මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම ම එය කෙතරම් වැදගත් ද යන්න පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති.
ඇමරිකානු නියෝජිතයන් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව, මාල දිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කරනු ඇති අතර කලාපයේ චීනයේ බලපෑමට එරෙහිව සටන් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන තේමාව බව පැවසේ.
සංචාරය සඳහා තෝරාගෙන ඇති රටවල් චීනය සමග ශක්තිමත් සබඳතා සහිත ජාතීන් වෙයි.
බීබීසී ඇසුරිණි
085