ඇමෙරිකන් නීතිපති හදිසියේම යුක්රේනයට


ඇමෙරිකන් නීතිපති මෙරික් ගාලන්ඩ්, පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගියේය.

ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියානු හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් යුක්රේන නීතිපති හමුවී සාකච්ඡා පැවැත්වීමටය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය. ඒ, යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය, බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවා ගත් යුද සංවිධානයකි.

රුසියන් හමුදා විවිධාකාරයේ යුද අපරාධ සිදු කරන බවට යුක්රේන රජය චෝදනා කරයි. එම යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හරහා රුසියාවට දඬුවම් කිරීමට යුක්රේනය සූදානමින් සිටී. ඇමෙරිකාවේ සහාය ඊට හිමිවෙයි. ඇමෙරිකන් නීතිපති මෙරික් ගාලන්ඩ් යුක්රේනය බලා ගියේ එහෙයිනි.

මීට සති දෙකකට පමණ පෙර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද රහසේම යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාපධිති ව්ලැදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

රුසියන් යුක්රේන යුද්ධය කොතරම් දුරදිග ගියත්, ඇමෙරිකාවේ සහාය දිගටම යුක්රේන රජයට හිමිවනු ඇතැයි එහිදී ජනාපධිති බයිඩන් ප්‍රතිඥා දුන්නේය.

(රොයිටර්)