ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර නව චීන තානාපති ලෙස චීන ජනාධිපති ෂී ජිංපින්ගේ සමීපතමයකු වන කිං ගැංග් පත්කර ඇති බවත්, කිං ගැංග් ඊයේ (28) සිය රාජකාරි ආරම්භ කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ආර්ථික, වෙළෙඳ සහ දේශපාලනික වශයෙන් ඇමෙරිකාවත් චීනයත් අතර අර්බුද රැසක් නිර්මාණය වී තිබේ. එම අර්බුද විසඳීම කෙරෙහි, ඒවාට සාර්ථකව මුහුණ දීමට 'සුදුස්සා' කිං ගැංග් යැයි චීන ජනාධිපතිවරයාගේ විශ්වාස යැයි පැවැසෙයි.
කිං ගැංග් චීන විදේශ අමත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වසර ගණනාවක් රාජකාරි කර ඇත. නව තානාපති ලෙස කිං ගැංග් පත් කිරීමත් සමඟ ඇමෙරිකා චීන සබඳතා යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඇමෙරිකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
චීනයත් ඇමෙරිකාවත් අතර අර්බුද නිර්මාණය වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරය හොබද්දීය. චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරා ගන්නා බවට දිගින් දිගටම චෝදනා කරමින් ට්‍රම්ප් චීනයට තීරු බදු පැනැවූ අතර, චීනය පෙරළා ඇමෙරිකාවට තීරු බදු පැනැවීය. ඒ සමඟ ඇමෙරිකාවත් චීනයත් අතර 'වෙළෙඳ යුද්ධයක්' නිර්මාණය විය.
එම වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙද්දී, 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් විය. ඒ අනුව, වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාවත් චීනයත් අතර මත ගැටුම් අවසන් නොවිණි.
වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීනය සමඟ යහපත් සබඳතා පවත්වනු ඇතැයි විශ්වාස කළත්, බයිඩන් ට්‍රම්ප්ට වඩා චීනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන බව පෙනෙයි. ඇමෙරිකා චීන ආර්ථික අර්බුද කඩිනමින් විසඳා ගැනීම කළ යුතු බවත්, එසේ නොවුණොත් 'කොවිඩ් 19' වසංගතය මැද, ගෝලීය ආර්ථිකයට එය දරුණු ලෙස බලපෑම් ඇති කරනු බවත් ජගත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
(රොයිටර්)