‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා මිලියන 60 ක් සෙසු රටවල් සමඟ බෙදා ගැනීමට ඇමෙරිකාව සූදානම් වෙයි.
ඇමෙරිකාව මෙසේ විදේශවලට අපනයනය කිරීමට සැරැසෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත්ය. ඇස්ට්‍රාසෙනකා එන්නත් මිලියන 60 ක් සෙසු රටවලට අපනයන කරන බව නිවේදනය කළේ ධවල මන්දිර උපදේශක ඇන්ඩි ස්ලැවිට් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.
ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සැලකිය යුතු මට්ටමින් අඩුවීමට පටන්ගෙන තිබේ.
ඇමෙරිකානුවන්ට ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතය. රුධිර කැටි ගැසීමේ බියක් හටගෙන ඇති බැවින් ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත මේ වනවිට ඇමෙරිකාවේ තාවකාලිකව නවතා දමා ඇත. ‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත් මාත්‍රා දෙකකින් යුක්ත වන අතර ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත නිපදවා ඇත්තේ එක් මාත්‍රාවක් ලෙසිනි.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් ඇමෙරිකාවේ නිපදවීම කළත් ඒවා ද ඇමෙරිකානුවන්ට ලබා දීමට එරට ‘ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ නිර්දේශ කර නැත. ඇමෙරිකාවේ ඖෂධ නියාමනය සිදුවන්නේ එරට ‘ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ හරහාය.
ඇමෙරිකානුවන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා නොදෙන්නේ රුධිර කැටි ගැසීම් ඇතිවීම සැලකිල්ලට ගනිමිනි. බයිඩන් පරිපාලනය පසුගිය මාර්තුවේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා මිලියන 4 ක් කැනඩාවටත් මෙක්සිකෝවටත් අපනයනය කළේය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)