ඇමෙරිකාවේ ක්‍රියාකලාපය ලෝක සාමයට තර්ජනයක්


දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන භයානකම දශකය මෙය යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් අගනුවර පැවැති දේශපනයනක් අතරතුරේය.

ඇමෙරිකාව සහ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් ඔවුන්ගේ ආධිපත්‍ය ගොඩනගා ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් ලෝකය අනතුරුදායක තත්ත්වයකට ඇද වැටී ඇති බව රුසියන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් භූ දේශපාලනික අර්බුද රැසක් නිර්මාණය කිරීමට සමත් වී සිටින බවත්, එය ලෝක සාමයට බාධාවක් වී ඇති බවත් රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ.

ලෝකයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට තනිවම කළ නොහැකි බවත්, අවසානයේ ඔවුන්ට රුසියාව සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමට මෙන්ම රුසියාවේ සහාය ලබා ගැනීමට ද සිදුවනු ඇති බවත් පුටින් අවධාරණය කළේය.

රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, රුසියාවේ අසල්වැසියකු වන යුක්රේනය, ‘නෝටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කිරීමත්, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් යුක්රේනයට සහාය දැක්වීමත් නිසාය.

දේශනය අනතුරේ රුසියාව යුක්රේනයට එරෙහිවගත් හමුදා ක්‍රියා මාර්ගය සාධාරණීකරණය කිරීමට ද ජනාධිපති පුටින් කටයුතු කළේය.

(ඒ.එෆ්.පී.)