ඇමෙරිකාවේ වෙඩි තැබීමක්


ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර මාර්ග බාධකයක් වෙත තම මෝටර් රථය ධාවනය කළ පුද්ගලයෙකු ඉන් පිටතට පැමිණ ඔහු සතුව තිබූ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අලුයම 4 ට පමණ කැපිටල් වීදිය සහ දෙවන හරස් වීදිය අතර ඇති මාර්ග බාධකයකට තම මෝටර් රථය ධාවනය කළ 29 හැවිරිදි පුද්ගලයා කෝපයෙන් ඉන්  පිටතට පැමිණ අහසට වෙඩි තැබූ බව වොෂින්ටන් පොලිසිය ප්‍රකාශ කළේය.

අහසට වෙඩි තැබීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය පැමිණි අවස්ථාවේ එම පුද්ගලයා තමන්ට වෙඩි තබා ගෙන  ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

මියගිය තැනැත්තා ඩෙලවෙයාර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවැසෙයි.

ඔහු කොංග්‍රස් සාමාජිකයන් ඉලක්ක කර පැමිණි බවට හෝ පොලිස් නිලධාරීන් තම ගිනි අවි භාවිතා කළ බවට සාක්ෂි නොමැති බව වොෂින්ටන් පොලිසිය පෙන්වා දුන්නේය.

(රොයිටර්)