ඇෆ්ගන් බාලිකාවන්ට යළි පාසල් යන්න වරම්


ඇෆ්ගනිස්තානයේ ද්විතීක බාලිකා පාසල් යළි විවෘත කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ඇෆ්ගන් තලේබාන් රජය මෙම තීරණය ගෙන ඇත්තේ, බලයට පැමිණ මාස 7 ක්, ද්විතීක බාලිකා පාසල් වසා දැමීමෙන් පසුවය.

ඇමෙරිකාව ඇතුළු බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ 2021 වසරේ අගෝස්තු මාසයේය. ඉන්පසු තලේබාන් ත්‍රස්ත සංවිධානයේ දේශපාලන අංශය මැදිහත් වෙමින් ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවීය.

බාලිකා අධ්‍යාපනයට තලේබාන්වරුන් විරෝධය පළ කරමින් ද්විතීක පාසල් වසා දැමීම කළේ ඉන්පසුවය. ‘කොවිඩ් 19’ වසංගතය ද ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වූ අතර, වසංගතය හේතුවෙන් ද ඇෆ්ගන් පාසල් බොහොමයක් වසා දැමුණි.

ද්විතීක පාසල් යළි ආරම්භ කරන්නැයි ජාත්‍යන්තරයෙන් ඇෆ්ගන් තලේබාන් රජයට දැඩි පීඩනයක් එල්ල වී තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

(ඒ.එෆ්.පී.)