ඇෆ්ගන් සරණාගතයන් 20,000 ක් බ්‍රිතාන්‍යයට


ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය අල්ලාගැනීම හේතුවෙන් පළායන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 20,000ක පමණ පිරිසක් සඳහා ඉදිරි වසර කිහිපය තුළ බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර සිටී.

අසරණව සිටින ඇෆ්ඝන් වැසියන්ට උදව් කිරීමට අනෙක් රටවල් ද ඉදිරිපත් විය යුතු බවත් , මෙය බ්‍රිතාන්‍යයට  තනියෙන් කළ හැක්කක් නොවන බව එරට ස්වදේශ ලේකම් ප්‍රීති පටෙල් පැවසුවාය.

පළමු වසරේ දි සරණාගතයින් පන්දහසක පිරිසකට අවස්ථාව හිමිවන අතර එහිදි කාන්තාවන්ට, ළමුන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව ස්වදේශ ලේකම්වරිය වැඩිදුරටත් සදහන් කළාය.
එක්සත් රාජධානිය වෙනුවෙන් ඇෆ්ඝනිස්ථානයේදී සේවය කළ ඇෆ්ඝන් පරිවර්තකයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා තම රට තුළ පදිංචිවීමේ අවස්ථාවදීමට මේ වනවිටත් එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

කැනඩාව ද ඇෆ්ඝන් සරණාගතයින් පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ තම රජය ඒ ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.ඔස්ට්‍රේලියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ වගකීම් මත කටයුතු කරන බව ඔහු පැවසීය. 

(ද ගාඩියන්)