ඇෆ්ගනිස්තානයේ පිපිරීමකින් 18ක් මරුට


නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදු වූ පිපිරීමකින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පිපිරීම කාර් බෝම්බ ප්‍රහාරයක් ලෙස සැක කෙරෙන අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ මුස්ලිම් උත්සවයක් වන ඊද් අල්-අදා උත්සවය වෙනුවෙන් රටපුරා තෙදින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යන්නටත් මත්තෙන් බව එරට බලධාරීහු කීහ.

මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇත්තේ තලේබාන් සංවිධානය වන අතර පසුගිය කාලයේ රටතුළ ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩි වීමක් ද දක්නට ලැබිණි. ඇෆ්ගනිස්තානය යනු වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳින රටකි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තාන පරිපාලනය සහ තලේබාන් සංවිධානය අතර පසුගිය කාලයේදී සාම සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්විණි. දෙපාර්ශවය අතර සිරකරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. ඇෆ්ගන් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් එය සිදුවන අතර ඒ සඳහා කමිටුවක් ද පත්කර ඇත.

තමන් මෙම ප්‍රහාරය එල්ල කළේ නැතැයි තලේබාන් සංවිධානය ප්‍රකාශ කළ අතර තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් ඒ් සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඇෆ්ගනිස්තානයේ නැගෙහිර පෙදෙසේ පිහිටි පළාතක් වන ලොගාර් පළාතේ පුල්-ඊ-අලාන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය ඒල්ල වී තිබිණි. ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම සිවිල් වැසියන් ද තුවාල ලබා ඇතැයි පළාත් පොලිසියේ ප්‍රකාශක ෂහ්පූර් අහ්මද්සායී පැවැසීය.  

 

රොයිටර්

055