ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 18ක් මරුට


 

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්හි අධ්‍යාපන ආයතනයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18 දෙනකු මියගොස් 57 දෙනකු තුවාල ලබා ඇත.

උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට පාඨමාලා පවත්වන පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට මෙම පිපිරීම සිදුව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් ෂියා මුස්ලිම්වරුන් වාසය කරන අතර පිපිරීම සිදුවූ ගොඩනැගිල්ලේ සිසුන් සිය ගණනක් අධ්‍යාපනය හදාරමින් සිටි ඇත.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමාජ මාධ්‍ය ජාලා හරහා පණිවුඩ නිකුත් කරමින් පවසා ඇත්තේ ඔවුන් මෙම ප්‍රහාරය පිටිපස සිටින බවයි. නමුත් ඔවුන් ඒ සම්බන්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

පසුගිය සති කිහිපයේ ඇෆ්ගනිසථානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගිය අතර බොහෝ ප්‍රහාර තලේබාන් සංවිධානය විසින් සංවිධානය කළ ඒවා විය.

කටාර් අගනුවර වන දෝහාහි පැවැත්වෙන සාම සාකච්ඡා අඩාල කිරීම මෙම ප්‍රහාර වල අරමුණ බව විචාරකයෝ පවසති.

2018 වසරේ අගෝස්තු මාසයේදී උපකාරක පන්තියක පුපුරා ගිය බෝම්බයක් හේතුවෙන් 48 දෙනකු මියගොස් තිබේ. එම ප්‍රහාරය ද ඉස්ලාම් රාජ්‍ය සවිධානය විසින් එල්ල කළ බව සඳහන් විය.

දින කිහිපයකට පෙර උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට එල්ලවූ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 12 දෙනක් මියගියහ.

බීබීසී ඇසුරිණි

085