ඉතාලියේ බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් 12 ක් මරුට


ඉතාලියේ බන්ධනාගාරවල ඇති වූ කැරලි කෝලාහලවලින් මියගිය සංඛ්‍යාව අද (10) වනවිට 12 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.
 
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර වලට විරෝධය පල කරමින් රැඳවියන් කලබල කරන බව පැවසේ. 

ඉතාලියේ බන්ධනාගාර වල අධික තදබදයක් පවතින අතර  පවුලේ සාමාජිකයන් හමුවීම සීමා කිරීම වැනි පියවර හේතුවෙන් රැඳවියෝ කෝපයට පත්ව සිටිති.
 
විරෝධය පල කිරීම සඳහා, ගිනි තැබීම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීම් සහ බන්ධනාගාර වලින් පැන යාම වැනි ක්‍රියා රැඳවියන් ආරම්භ කර ඇති බව බන්ධනාගාර පාලකයෝ පවසති.

ප්‍රචණ්ඩකාරී විරෝධතා පාලනය කර ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි නමුත් බන්ධනාගාර 10 ක තවමත් විරෝධතා සිදුවෙමින් පවතින බව සඳහන් වේ.

ඉරිදා සහ සඳුදා මොඩෙනා බන්ධනාගාරයේ රැඳවියන් හත් දෙනෙක් මිය ගිය අතර අඟහරුවාදා තවත් දෙදෙනෙකු මියගොස් තිබේ. 
 
රෝමයට ඊසාන දෙසින් පිහිටි රීටි හි බන්ධනාගාරයක තවත් තිදෙනෙක් මියගොස් සිටියහ.

මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ රැඳවියන් සායනවලින් සොරකම් කරන ලද ඖෂධ අධික ලෙස පානය කිරීම නිසා බව බලධාරීහු පවසති.

දකුණු ෆොග්ජියා හි බන්ධනාගාරයකින් සිරකරුවන් පනස් දෙනෙකු සඳුදා පැන ගිය අතර අඟහරුවාදා උදෑසන වන විට නැවත අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 දෙනෙකු පමණක් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

යුරෝපයේ රටවල් අතරින් ඉතාලියට දැඩි ලෙස බලපෑම් ඇතිකර තිබෙන වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා පවුලේ සාමාජිකයන් සමඟ රැඳවියන්ගේ සම්බන්ධතා සීමා කිරීමෙන් පසුව විරෝධතා සහ කෝලාහල ආරම්භ විය.

ඉතාලි බන්ධනාගාර සාමාන්‍යයෙන් රැඳවියන්ගෙන් පිරී ඇති අතර එමඟින් රැඳවියන් සහ කාර්ය මණ්ඩලය බෝවන රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)