ඉතාලියේ හිටපු අගමැති චෝදනාවලින් නිදහස්


බාලවයස්කාර ගණිකා වෘත්තිය සම්බන්ධ නඩුවක සාක්ෂිකරුවන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනීට  විරුද්ධව පැවති නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට ඉතාලියේ මිලානෝ අධිකරණය නියෝග කොට ඇත.

17 හැවිරිදි මොරොක්කානු රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පිනියකගෙන් මුදලට ලිංගික අල්ලස් ලබා ගැනීම හේතුවෙන් 86 හැවිරිදි බිලියනපති බර්ලුස්කෝනීට විරුද්ධව ඇති නඩුවක බොරු සාක්ෂි ලබා දීම සඳහා ඔහු සංවිධානය කරන ලබන ‘බුන්ගා බුන්ගා’ නමින් හඳුන්වනු ලබන සමාජශීලි රාත්‍රී උත්සව වලට සහභාගී වූ  තරුණියන් 28 දෙනකුට අල්ලස් ලබා දී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබිණ.

17 හැවිරිදි මොරොක්කෝවේ රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පිනියකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සිල්වියෝ බර්ලුස්කෝනීට විරුද්ධව පවතින නඩුවේදී සාක්ෂි ලබා දුන් පුද්ගලයන් සාක්ෂිකරුවන් ලෙස නොව සැකකරුවන් ලෙස හැඳින්විය යුතු බවත් ඒ හේතුවෙන්  සාක්ෂිකරුවන්ට අල්ලස් ලබා දීම සම්බන්ධ චෝදනා වලින් බර්ලස්කෝනි නිදොස් කොට නිදහස් කරන බවත් මිලානෝ අධිකරණය දුන් නියෝගය සඳහන් වේ.

(රොයිටර්)