ඉන්දියාව රුසියාවට එරෙහිව ඡන්දය දෙයි


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසියේදී ඉන්දියාව පළමු වරට රුසියාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන ඇති හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි. පසුගිය 24 වැනිදා වනවිට රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත විය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේනයේ කීව් අගනුවර සිට ආරක්ෂක මණ්ඩල සමුළුව ඇමැතීමට සූදානම් විය. ඔහු ඒ සඳහා ආරක්ෂක මණ්ඩල සාමාජික රටවලින් අවසර ඉල්ලීමක් කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15 කින් සමන්විත වන අතර, ඊට නිත්‍ය සාමාජිකයන් පස් දෙනෙකි. චීනය, ප්‍රංශය, රුසියාව, මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව එම නිත්‍ය සාමාජිකයන්ය. ඉන්දියාව නිත්‍ය නොවන සෙසු සාමාජිකයන්ගෙන් කෙනෙකි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවසර ඉල්ලූ අවස්ථාවේදී රුසියාව ඊට විරෝධය දැක්වීය. ඒ අනුව, සෙලෙන්ස්කීගේ ඉල්ලීම සම්බන්ධයෙන්ඊට කැමැත්ත අකමැත්ත විමසා හදිසි ඡන්ද විමසුමක් පැවැත්වීය. ඉන්දියාව යුක්රේනයට හිතවත් බටහිර රටවල් සමඟ රුසියාවට එරෙහිව ඡන්දය දුන්නේ, යුක්රේන ජනාධිපති සෙලෙන්කීට සමුළුව ඇමැතීමට ඉඩ දිය යුතුයි යනුවෙනි.

යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඉන්දියාව රුසියාවට එරෙහිව ඡන්දය ලබා දුන් පළමු අවස්ථාව වන්නේ මෙයයි. මීට පෙර යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් රුසියාවට එරෙහිව ඡන්ද විමසුම් පැවැත්වෙද්දී, ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කළ යුතු බව ඉන්දීය රජය නිරන්තරයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවධාරණය කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලොදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ පවා, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරයි. එය එම සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව ඇමෙරිකාව පෙන්වා දී ඇත.

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මාස 6 ක් ගත වීම පමණක් නොව, යුක්රේනයේ නිදහස් දිනය ද පසුගිය 24 වැනිදාට යෙදී තිබුණි. පසුගිය 24 වැනිදාට යෙදී තිබුණේ යුක්රේනයේ 31 වැනි නිදහස් දිනයයි. යුක්රේනය නිදහස් දිනය ලෙස සමරන්නේ, 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමය.

එදින යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ආරක්ෂක මණ්ඩල සමුළුව ඇමැතීමට අවසර ඉල්ලා සිටියේ, රුසියානු ආක්‍රමණයෙන් සිදුවී ඇති හානිය පෙන්වා දීමටය.

යුක්රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීම සමුළුවට ඉදිරිපත් කළ විට ඊට එකපයින් විරුද්ධ වූයේ එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියා ය.යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ ඉල්ලීම සම්බන්ධයෙන් හදිසි ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය යැයි සමුළුවෙන් ඉල්ලීමක් කළේ ද ඔහුය.

(රොයිටර්)