ඉන්දියාවටත් ජපානයටත් බැලූන් යවන්න සැලැසුම් කරලා


ඉන්දියාව, ජපානය ඇතුළු ඇමෙරිකන් හිතවාදී රටවල් රැසක ඔත්තු බැලීමේ බැලූන යැවීමට චීනය සූදානමින් සිටි බව ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් වෙන්ඩි ෂර්මන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඔත්තු බලන චීන බැලූන සම්බන්ධයෙන් විස්තර රැසක් මේ වනවිට අනාවරණය කර ගැනීමට ඇමෙරිකන් බුද්ධි අංශ සමත් වී ඇතැයි ද ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරිය පැහැදිලි කර තිබේ.

ඉන්දියාව සහ ජපානයට අමතරව, පිලිපීනය, තායිවානය, සහ වියට්නාමය යන රටවලට ඔත්තු බැලීමේ බැලූන් යැවීමට චීනය සූදානමින් සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

චීනයේ ඔත්තු බලන බැලූන ගැන ලෝකයට අනාවරණය වූයේ, එක් බැලූනයක් ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් තිබියදීය. බැලූනය ගැන විමසිල්ලෙන් පසුවනු ඇමෙරිකන් ආරක්ෂක අංශ මිසයිල ප්‍රහාරයකින් බැලූනය විනාශ කළේ පසුගිය සති අන්තයේය.

එම අවස්ථාවේදී බැලූනය අත්ලාන්තික් සාගරයට ඉහළින් පාවෙමින් තිබුණි. ඇමෙරිකන් නාවික හමුදාව බැලූනයේ සුන්බුන් සොයාගෙන ඇති අතර, ඒවා යළි චීනයට ලබා නොදීමට ද තීරණය කර තිබේ.

ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් තිබී පසුව විනාශ කළ බැලූනය සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ එය කාලගුණ දත්ත රැස් කරන බැලූනයක් බවත් හමුදාවට අයත් බැලූනයක් නොවන බවත්ය. එය ඇමෙරිකාව දෙසට පාවී ගොස් තිබුණේ චීන විද්‍යාඥයන්ගේ පාලනයෙන් ගිලිහී යෑමෙන් යැයි ද චීනය වැඩි දුරටත් පැහැදිලි කර තිබුණි.

(එන්.ඩී.ටීවී.)