ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 6.91ක් දක්වා ඉහළට


ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (9) මිලියන 6.91ක් දක්වා ඉහළ ගියේය.

සිකුරාදා, එනම් අද (10) පෙරවරුවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 70,496 දෙනකු වාර්තා වී ඇත.

ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 964ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 106,490ක් යැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ලක්ෂය ඉක්මවා ගියේ ඉකුත් සෙනසුරාදා ය. නව කොරෝනා වයිරස ආසාදිත මරණ ලක්ෂයක් වාර්තා වන තෙවැනි රට වන්නේ ද ඉන්දියාවයි. වැඩිම මරණ ගණනක් වාර්තා වන රටවල් අතර පළමු තැන ඇමෙරිකාව ද දෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.

මේ කිසිදු රටකින් වයිරසයේ ව්‍යාප්තිය අඩු වන බවක් පෙනෙන්නට නැත.

මේ අතර බ්‍රහස්පතින්දා (8) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් 338,779 දෙනකු හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

එය දිනක් ඇතුළත ලොව රටවලින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද එම සංවිධානය නිවේදනය කළේය. ඒ අනුව එම පැය 24 කාලයේදී වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය යන රටවලිනි.

එම පැය 24 දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,524 දෙනකු, බ්‍රසීලයෙන් ආසාදිතයන් 41,906 දෙනකු සහ ඇමෙරිකාවෙන් ආසාදිතයන් 38,904 දෙනකු හඳුනාගෙන ඇත.

එම පැය 24 දී ලොව නන්දෙසින් වයිරස ආසාදිත මරණ 5,514ක් වාර්තා වී තිබේ. ඒ අනුව නව කොරෝනා වයිරස ආසාදිත ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 1.05ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

රොයිටර්

055