ඉන්දියාවේ ආසාදිතයෝ ඉහළට


ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන නැවත වරක් වාර්තා ගත ලෙස ඉහළ ගියේ ය. වයිරස ආසාදිතයන් වේගයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවරට අගුළු දැමීමට ද නියමිත ය.

ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 184,272 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 13.9ක් දක්වා ඉහළ ගිය බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,027ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 172,085ක් දක්වා ඉහළ ගියේ ය.

මේ වසරේ මුලදී ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූයේ ආසාදිතයන් 10,000කට අඩු ගණනකි. කෙසේ නමුත් පසුගිය සති දෙක තුනක සිට ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වේ.

ආසාදිතයන් වාර්තා වීමේ වේගය අඩු වීමත් සමඟ වැඩිම ආසාදිතයන් ලැයිස්තුවේ තෙවැනි තැනට පත්වූ ඉන්දියාව අප්‍රේල් 2 වැනිදා නැවත දෙවැනි තැනට පත්විය.

තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඉන්දියාව එහි දෙවැනි තැන ද බ්‍රසීලය එහි තෙවැනි තැන ද පසුවෙයි.

නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ ධනවත්වම ප්‍රාන්තය ලෙස සැලකෙන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. දෙවැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වන අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තයටම සම්පූර්ණයෙන් අගුළු දැමීමට නියමිත ය.

මෙම ලොක්ඩවුන් සීමා අප්‍රේල් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වීමට නියමිත ය. ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාවෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.

ලොක්ඩවුන් සීමා පනවන ප්‍රකාශ කිරීමත් සමඟ මුම්බායි නුවර කඩසාප්පු ජනතාවගෙන් පිරීගොස් ඇත. මුම්බායි යනු ඉන්දියාවේ වාණිජ අගනගරය යි.

මුම්බායිහිදීය (රොයිටර්)